‘‘එකෙක් කරපු වැරදි වැඩෙන් මුළු ආමි එකටම බැනලා වැඩක් නැහැ නංගී...“
‘‘මම ගයාන් වෙනුවෙන් නොකළ දෙයක් නැහැ..“
අප රටේ ආදරය නිසා අතරමන් වන කාන්තාවන් ගැන නිතර නිතර පුවත් ඇසෙනවා. මේ එවැනි තරුණියක් ගැන කියැවෙන අනුවේදනීය කතාවක්. ගමන ඇරඹී බසය මද වේලාවකින් නුවර කඩුගන්නාව පසුකරමින් ඉදිරියට ඇදෙයි. මා ළඟ සිටි තරුණියක් වරින් වර අත් ඔරලෝසුව දෙස බලන්නට වූවාය.
පැයක් පමණ ගෙවී යද්දී බසය තේ කඩයක් ළඟ නතර කළේය.
“මෙතන ගොඩක් වෙලා ඉන්නවද දන්නේ නැහැ.” ඇය මා දෙස බලමින් කීවාය.
“එච්චර වෙලාවක් යන එකක් නැහැ”
බසයෙන් බැස ගත් මා හෝටලයට ගොස් මිලට ගත් “ස්මැක්” බෝතලයක් ඇය වෙත දිගු කළේය. ඇය මා දෙස බලා සිනහවක් පෑවාය.
“බොහොම ස්තූතියි...”
“ඕක බීලා ඉක්මනට බෝතලය දෙන්න”
බසය යළි පණ ගැන්විණි. කෑගල්ල හරහා වරකාපොළට එද්දී ඇය මා සමඟ බොහෝ හිතවත් වූවාය.
“එයා හත වෙනකොට කොළඹ බස් ස්ටෑන්ඩ් එකට එනවා කිව්වා අයියේ....”
“එයා කිව්වෙ... ඔයාගේ මහත්තයාද...?”
“ඔව්... එයා ආමි එකේ....”
ටිකෙන් ටික මා සමඟ සුහද වූ ඇය තව තවත් දෑ මා සමඟ කීවාය. ඇගේ කතාව අහන්නට මට ද ඕනෑකමක් තිබිණ.
“මම වෙලාවට ගියේ නැත්නම් එයාට තරහ යයි....”
ඇගේ කතාව මට ඇති කළේ ප්‍රහේළිකාවකි. ඇය කියන්නේ කුමක්දැයි මට නොතේරේ.
“ඒ කිව්වේ...”
“ඒක දිග කතාවක් අයියේ...”
“ඉතින් කියන්නකෝ බලන්න”
මා එසේ කියද්දී ඇගේ දෙනෙත් කඳුළෙන් පිරී ගියාය. ඇය යළි හිස ඔසවා මා දෙස බැලුවාය.
“ගයාන් මට හම්බ වුණේ නුවරදි එයා පෙරහැරේ ඩියුටි දාලා හිටියා. මම ගෙදර කට්ටියත් එක්ක පෙරහැර බලන්න ගියා. එයා මට එයාගේ ටැලිෆෝන් නොම්මරේ දුන්නා”
“අපි නිතර ටැලිෆෝන් එකෙන් කතා කළා..... පස්සේ එයා අපේ ගෙදර ආවා... අපේ අම්මලත් කැමති වුණා. මගේ තාත්තා නැහැ. තාත්තා නැති වෙලා තියෙන්නේ මම පොඩි කාලේදි...”
ඇය කතාව කියාගෙන ගියාය. පුංචි පුතා තවමත් තද නින්දේය.
“අපි දෙන්නා හරිම සතුටෙන් හිටියේ. මම ගයාන් වෙනුවෙන් නොකළ දෙයක් නැහැ. එයා නුවර ඇවිත් සති දෙක තුන මාත් එක්ක නැවතිලා යනවා. එයා මට කිව්ව කසාද බැඳලා අපි නුවරම ඉඳිමු කියලා”
“ඔය අතරේ තමයි මට මේ පුතා ලැබෙන්න හිටියේ. දරුවට මාස හතක් විතර යද්දි එයා ගැන මට ආරංචියක් ලැබුණේ නැහැ. අන්තිමට එයා මට කිව්වා එයාට නිවාඩු ගන්න බැහැ කියලා. ජීවිතේ ගැනත් දැන් විශ්වාසයක් නැහැ. එයාගේ යාළුවෝ හුඟ දෙනෙක් යුද්ධයෙන් මැරුණා කියලා කිව්වා...”
"මම එයා වෙනුවෙන් බෝධි පූජා තිබ්බා. යුද්ධෙ ඉක්මනට ඉවර වෙන්න කියලා. එයාට කිසිම හිරිහැරයක් වෙන්න එපා කියලා දෙවියන්ට කිව්වා...” ඇය එසේ කියමින් ඉකි ගසන්නට වුවාය.
එහෙත් ඉන් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ඇයට නොලැබුණි. දරු ගැබ ද එන්න එන්නම මෝරා ආවේ කිසිවක් සැඟවිය නොහැකි ලෙසිනි. වේදනාවෙන් බරිත වූ ඇය කුස ද දරාගෙන දෙවියන් බුදුන් ඉදිරියේ වැඳ වැටුණේ හැකි ඉක්මනින් තම පෙම්වතාට තමා බලන්නට එන්නට අවස්ථාව උදා කර දෙන ලෙස යදිමිනි. ඒත් ඒ කිසිවක් ඇය පැතූ ලෙස ඉටු නොවිණි.
“මට පුතා ලැබුණා . ඒත් එයා ගැන කිසිම ආරංචියක් නැහැ. සමහර අය කිව්වා එයා යුද්ධයේදි මැරෙන්න ඇති කියලා..., ඒත් මම ඒවා විශ්වාස කළේ නැහැ. මම හැම තැනම එයාව හෙව්වා. එයා එවපු ලියුම්වල තියෙන විස්තර අරගෙන මම කොළඹ ගියා... එතැනින් විස්තර දැන ගත්තා. එයා මුලතිව් පැත්තේ ඩියුටි ඉන්නවා කියලා ඒ අය කිව්වා...
ඇය සිය උත්සාහය අත් නොහැරියාය. හමුදාවේ උසස් නිලධාරින්ට සිය දුක් ගැනවිල්ල කියමින් ඔහු කෙසේ හෝ මුණ ගස්සවා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් ඉදිරියේ හඬා වැළපුණාය.
එහෙත් ඒ කිසිවක් ඉටු නොවීය. අවසානයේ ඇය දරුවා සමඟ තනිවුවාය. ලැජ්ජාව විඳ දරාගත නොහැකි තැන ඇය දරුවාද රැගෙන කොළඹ පදිංචි සිය මිතුරියකගේ බෝඩිම් කාමරයට ආවාය. දරුවා රැකබලා ගැනීම සඳහා කැරෝකේ සමාජ ශාලාවක නළගනක් සේ රැකියාවක් කළාය. මාස දෙක තුනක් ගත වෙද්දී ඇය එම රැකියාවට හොඳින් පුරුදු පුහුණු වූවාය. සම්පත් ඇය හඳුනා ගන්නේ එතැනදීය. ඔහු ද හමුදා සෙබළෙකි. ගයාන් නිසා තමා දරුවා සමඟ මේ තත්ත්වයට පත් වූ බව ඇය සම්පත්ට කීවාය. ඉන් සම්පත්ගේ හදවත උණු විය. ඒ ගයාන් මෙන් තමාද යුද සෙබළෙකු වූ නිසාය. සම්පත් ද යුද්ධයෙන් තුවාල ලැබු ආබාධිත සෙබළෙකු විය. ඒ නිසා ඔහුගේ පෙම්වතිය ඔහු හැර ගොසිනි. ඇගේ කතාව ඇසූ ඔහුට ඇය කෙරෙහි කිසියම් අනුකම්පාවක් මෙන්ම ආදරයක් ද ඇතිවිය.
“දැන් දුක් වෙලා වැඩක් නැහැ. ඔයාට මම ඉන්නවනේ අපේ එකෙක් කරපු වැරදි වැඩෙන් මුළු ආමි එකටම බැනලා වැඩක් නැහැ නංගී”
සම්පත් ඇය සමඟ ඇති කරගත් හිතවත්කම වැඩිකල් නොගොස් සෙනෙහසක් බවට පෙරළිණි. ඇයත් ඔහුත් පෙමින් වෙළුණේ එළෙසිනි.
“සම්පත් මාව කසාද බඳින්න පොරොන්දු වුණා. එයා එයාගේ පඩිය පවා මට දුන්නා. මගේ ගැන එයාගේ අම්මලාටත් කියලා තිබුණා. මාවත් දරුවත් බාර ගන්න එයා කැමති වුණා...”
බසය කොළඹට ආසන්නව ඇත.
“දැන් ඔයා කොහේද යන්නේ...?”
මම ඇගෙන් විමසූවෙමි.
“එයා අද ඉඳන් දවස් දහයක් නිවාඩු... එයා මට කොළඹට එන්න කිව්වා. අපි යනවා එයාලගේ මහ ගෙදර...”
“ඒ කොහේද...?”
“මාතර...”
ඇය සතුටින් කීවාය.
“හොඳයිනේ...”
මම ද පෙරළා කීවෙමි.
“ඔයාට දැන් ගයාන් මතක් වෙන්නේ නැද්ද?”
“මගේ හිතේ එයා නැහැ අයියේ. මගේ මුළු ජීවිතයම සම්පත් අයියා වෙනුවෙන් කැප කරලා ඉවරයි. එයා මාවත් දරුවත් බාරගන්න කැමති වුණ එක කොච්චර ලොකු දෙයක් ද . ඒක කොච්චර පරිත්‍යාගයක්ද නේද අයියේ...”
ඇය යළිත් ඔරලෝසුව දෙස බැලුවාය. මෙතෙක් වෙලා නිදා සිටි පුංචි පුතු අවදි වී ඇත.
“මෙයාටත් එයා ආදරෙයිද?”
“ඔව් අයියේ... එයා අම්මලාට කියලා තියෙන්නේත් දරුවා එයාගේ කියලා”
“මටත් ආසයි ඔයාගේ අලුත් මහත්තයා බලන්න.” මම කීවෙමි.
“දැනටමත් එයා ස්ටෑන්ඩ් එකට ඇවිත් ඇති”
බසය නැවතුමේ නතර විය. දරුවා ද වඩාගත් ඇය බසයෙන් බැස කඩිසර ගමනින් ඇවිද ගියාය. මම ඇය දෙස බලා සිටියෙමි. බස් නැවතුමේ කණුවකට බර වී සිටි ඔහු සිය පෙම්වතිය අත සිටි පුංචි පුතා දෑත් එක්කොට සිය තුරුළට ගත්තේ මහත් සෙනෙහසකිනි.
_හිරුගොසිප්