Political

” තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ” - ඇමතිගෙන් ගේම ඉල්ලපු ග්‍රාම සේවක

ග්‍රාම නිළධාරිවරයකු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට “තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ” යනුවෙන් බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ සමාජ සේවා අමාත්‍යංශයට අයත් ගොඩනැගිල්ලක අනවසරයෙන් සිය කාර්යාලය පවත්වාගෙන ගිය ග්‍රාම නිළධාරීවරයකුට ඉන් ඉවත්වී, එහි නැවත සමාජ සේවා අමාත්‍යංශයේ දරුවන්ගේ රැකවරණ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට ඉඩ සලසන ලෙස ඉල්ලූ අවස්ථාවේ මෙලෙස තමන්ට බැණ වැදුනු බවයි දුමින්ද දිසානායක මහතා පැවසුවේ.

අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ නිළධාරීන් අමතමින් අමාත්‍යයවරයා මේ බව පැවසුවා.

එහිදී උතුරු මැද පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ ඊ.පී.ජී.සී.කේ මඩුගල්ල මහතා විසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත කියා සිටියේ,
කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ සමාජ සේවා අමාත්‍යංශය මගින් ඉදි කළ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

“මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ 2000 වර්ෂයේ, ඒ අනුව වසර 17 ක් පමණ සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලක් මේක, ඒ ගොඩනැගිල්ලේ අපි වැඩිහිටි නිවාසයක් ලෙසත්, දරුවන්ගේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් මීට පෙර පවත්වාගෙන ගිහින් තියෙනවා. පසුව එය භාවිතයට නොගෙන තියෙනවා. වර්ථමානයේ අපිට මේ ගොඩනැගිල්ල අවශ්‍යය වෙලා තියෙනවා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ආබාධිත දරුවන්ට දෙවසරක වෘත්තීය පුහුණුව ලබා දීම සදහා. මේ අවුරුදු 2 න් පස්සේ සමහර දරුවන්ගේ දෙමාපියෝ ඔවුන්ව භාර ගන්නේ නෑ. ඒ නිසා අපිට ආබාධිත දරුවන්ට රැකවරණය මධ්‍යස්ථානයක් අවශ්‍යය වෙනවා. දැනට පළාතේ එහෙම මධ්‍යස්ථානයක් නෑ. අපි මේ ගොඩනැගිල්ල මිලියන 04.07 ක් වැය කරලා මේක අලුත්වැඩියා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේක අලුත්වැඩියා කරන්න යද්දී ග්‍රාම නිළධාරීවරයකු හා තවත් නිළධාරීන් දෙදෙනකු එහි කාර්යාල පවත්වාගෙන යන බවට දැනගන්න ලැබුණා. ඊට පස්සේ අපි මේක සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කළා, ප්‍රාදේශීය ලේකම්තුමන් අදාළ නිළධාරීන්ට ඉවත් වෙන්නට කිව්වත් තාමත් ඔවුන් ඉවත් වෙලා නෑ, ඒ නිසා අපිට මේ අලුත්වැඩියා කටයුත්ත කරන්න බැරි වෙලා තියෙනවා. වසර අවසන් වෙන්න තව මාස 2 ක් පමණ තියෙන්නේ මේ සම්බන්ධයෙන් විසදුමක් ලබා දෙන්න.”

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

“පළාත් සමාජ සේවා අධ්‍යක්ෂතුමා ඊයේ (22) ඇවිත් මේ සම්බන්ධයෙන් මාව දැනුවත් කළා.ඒ මොහොතේ අදාළ ග්‍රාමසේවක මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා, ඒ ග්‍රාමසේවක මහත්තයා ධම්මික රාජපක්ෂ කියලා.මාත් එක්ක මුලින් කොහොමද ඇමතිතුමා කියලා කථා කරලා, අවසානයේ කථාව අවසන් වුණේ ” තමුසේ කොහොමද මට උපදෙස් දෙන්නේ තමුසේ කෘෂිකර්ම ඇමතිනේ” කියලා.මම එතුමාට කිව්වා “ආයේ පාරක් කියන්න” කියලා.ඒ විදිහට මම තුන් පාරක්ම ඒ වචනය අහගත්තා ඒක.

යහපාලනය කියන්නේ මේක තමයි. සියලු දෙනාටම මේ යහපාලනය කියන කාරණාවේ තේරුම වැටහිලා නෑ, නිළධාරීන් විදිහට කොහොමද කථා කරන්න ඕන, කොහොමද කටයුතු කරන්න ඕන කියන කාරණාව, හැම වෙලාවේම දේශපාලඥයින්ටනේ ඇගිල්ල දික් වෙන්නේ, මෙහෙම තර්ජනය කළා කියලා. ඒ ග්‍රාමසේවකතුමා මට කිව්වා ” දැන් මට කියන්නේ වෙන තැනකට යන්න කියලා නම් , මේක සමාජ සේවා ආයතනයක් දානවා නම් ඒකට ළමයි කීයක් දානවාද ?කීයක් වැඩිහිටියෝ දානවාද ? ඒ ටික කියන්න ඊට පස්සේ බලන් නම් කිව්වා.” ඊට පස්සේ මම කිව්වා” ග්‍රාම සේවා කාර්යාලය වෙන තැනකට යමු, මෙතන සමාජ සේවා ආයතනය කර ගෙන යන්න දෙමු “කියලා. ඊට පස්සේ එතුමා මට කියනවා “මම මේ සේරම රෙකොඩ් කරනවා, මම මේක මාධ්‍යයට දෙනවා” කියලා. මම කිව්වා “බොහොම හොදයි රෙකෝඩ් කරන්න, මේ ටිකත් මාධ්‍යයට කියන්න දුමින්ද දිසානායක ඇමතිතුමා කිව්වා කියලා, සමාජ සේවා අමාත්‍යංශය යටතේ ළමයින්ට රැකවරණය මධ්‍යස්ථානයක් හදන්න දෙන්න කියන එකයි කිව්වේ කියලත් කියන්න” කියලා. ඊට පස්සේ අවසානයට එතුමා කිව්වා ” තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ “කියලා.

ඒත් එක්කම මම අදාළ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇමතුවා, ඒ ලේකම්තුමා අද (23) උදේ වන විට පරීක්ෂණ කණ්ඩායමක් එවලා මගෙන් හා අදාළ නිළධාරීන්ගෙන් කටඋත්තර ලබා ගත්තා.රජයේ නිළධාරීන් කියලා කියන කොට ඒ අයට වැඩ කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා හැසිරෙන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා.ඒ සියල්ලගෙන්ම මගඇරලා මේ වගේ දේවල් වුණාම මුළු රාජ්‍යය නිළධාරීන් පැලැන්තියටම චෝදනා එල්ල වෙනවා.

මම හිතුවා මේක ප්‍රසිද්ධියේම රාජ්‍යය නිළධාරීන්ට කියන්න ඕන කියලා, මොකද සාමාන්‍යයෙන් අපි උත්තර දෙන ක්‍රමය ඕක නෙමෙයි. හැබැයි දැන් ක්‍රමය වෙනස් වෙලා තියෙනවා.ඒ නිසා තමයි නීත්‍යාණූකූළව කටයුතු කරලා, නීත්‍යාණූකූළව පැමිණිලි කලේ. මේක අපි හැමෝටම හොද ආදර්ශයක් මේක එළියේ කථා කරලා, එළියේ ප්‍රචාරය කලොත්.

රාජ්‍යය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමෙක් අද (23) උදෑසන මගේ කටඋත්තරය ගද්දී ග්‍රාමසේවක මහත්තයාගේ සහෝදරයෙක් කථා කරලා මට කිව්වා, “අනේ ඇමතිතුමා මෙතුමාට සමාව දෙන්න, එතුමා පිස්සෙක්, මේ වගේ දෙයක් වෙලා තියෙනවා. එතුමාට සමාව දෙන්න කියලා. එතුමාට මම කිව්වා මම පුද්ගලිකව කරන්න හිටපු දේවල් ටිකට සමාව දෙන්නම්, හැබැයි රජයේ නිළධාරියෙක් විදිහට මේ කරපු දේවල් වලට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන” කියන එක. ප්‍රාදේශීය ලේකම්තුමත් මට කථා කරලා එතුමාගේ නිළධාරියකු අතින් වරදක් වෙලා තියෙනවා, සමාවෙන්න කියලා. අපි එතුමාට සමාව දෙන එකත් කළ යුතුයි. හැබැයි නීතිය රටේ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මොකද රටේ යහපාලනය ඉහළ ඉදන් පහළටම හැදිය යුතුයි. පහළ වරදක් වෙනවා නම් ඒක නිවැරදි කරන එකත් යහපාලනය. ඒ නිසා රජයේ සියලුම නිළධාරීන් තමන් රාජකාරී කරන කොට කොහොමද රාජකාරී කරන්නේ කියන කාරණාවත් නැවත වතාවක් සිහිපත් කරගන්න. රජයේ ඉහළ නිළධාරීන් තමන්ගේ පහළ නිළධාරීන් කොහොමද රාජකාරී කරන්න ඕන කියන කාරණාව දැනුවත් කරන්න.”

අදාළ අවස්ථාවේ වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top