Showing posts with label Cinema. Show all posts
Showing posts with label Cinema. Show all posts

06 June, 2017

'ලංකාවෙ බිහිවුණු කියුට්ම ලව්ස්ටෝරි එකක්'

By: Aththa Withthi On: 6/06/2017 05:10:00 AM
  • Let's Get Social


  • නිනෝ ලයිව් ගැන මට තියෙන්නෙ ඉමෝෂනල් කියවීමක්. ඒක ෆිල්ම් එකකට වඩා ලංකාවෙ එක පරම්පරාවක කතාවක්. ඒ අතින් කල්ට් මාස්ටර්පීස් එකක්. නිනෝ ලයිව් ස්ක‍්‍රීන් එකේ දැක්ක ගමන් මට ආපු ඇඟ කිළිපොලා යන හිතුවිල්ල, උද්දාමය වුනේ ලංකාවෙ මීට අවුරුදු දහයකට විතර කලින් පටන් ගත්ත සිනමා නව රැල්ලෙ ප‍්‍රතිඵල තිරය උඩට මුදාහැරීම ඇරඹුනා කියන එකයි.

    යථාර්තවාදය එක්ක එක දිගට හතිවැටෙන කල් පොරබැදපු, ජීවිතේ දුක්ඛ සත්‍යය පසක් කළ ආධ්‍යාත්මයකින් හෙබි, ගමේ සෞන්දර්යයෙන් සහ කර්කශත්වයෙන් මෝහනය වුණු එක සිනමා ධාරාවක අවසානය නිනෝ ලයිව් සටහන් කරනවා. ඇත්තටම මේ සිනමාව පටන් ගත්තෙ මීට දශකයකට විතර කලින්. ඒත් ඒ පරම්පරාවෙ සිනමාකරුවන් නොදැනුවත්වම වුනත් හරි කාලය එනකල් ඒ චිත‍්‍රපටි පුස්කන්න නියමිතව තිබුනා. ඒ දශකය බාර වුනේ රජකතා බණකතා සිනමාවට.

    ඒක ගැන මට අප‍්‍රසාදයක් නෑ. ඇත්තටම ඒ දශකයේ සිනමාව විසින් ලංකාවෙ මහා සිනමාව වෙනස් කළා. ආන්ඩුවේ දේශපාලන මතවාදී බලයේ සපෝර්ට් එකෙන් වුනත් වෙනත් ජනප‍්‍රිය සිනමාවක් නිර්මාණය වුනා. මහින්දගේ දේශපාලන ව්‍යාපෘතියේ මාධ්‍යයක් වීම ඇරුනත් ඒකෙ ලංකාවෙ ඇත්ත ජනප‍්‍රිය සිනමාවක යම් ලක්ෂණ තිබුනා කියල මං හිතනවා.

    ඒත් ස්මාර්ට් ෆෝන්, ඉන්ටර්නෙට් එක්ක ගතවෙන අලූත් තාරුණ්‍යයට ලංකාවෙ සිනමාවක් හැදුනෙ නෑ. නගරය සම්පූර්ණයෙන්ම අයින් කරලයි තේමාවන් නිර්මාණය කළේ. අපිට කොහේ හරි වැරදුනා කියන එක තමයි හැමෝම බාරගන්න ලෑස්ති හැඟීම වුනේ. නගරයේ වුනත් මිනිස්සුන්ට තිබුනෙ පොඩි ඇපොලොජටිකල් හිතීමේ සහ වින්දනයේ රටාවක්. ඒ හින්දම කලාව බර වුනෙත් වමට. අලූත් පරම්පරාව සිංහල චිත‍්‍රපටි නොබලා ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගෙන පිටරට චිත‍්‍රපටි බැලූවා. සිනමා ශාලාවලට යන සංස්කෘතිය ටික ටික ඩීවීඩී සංස්කෘතියකට පෙරලූනා.

    මේ වෙනස්වීම් අතරෙ, රට නතර වෙලා තියෙද්දි ඇත්තටම වැඩකළේ ටීවී එකයි. දැවැන්ත රියැලිටි ටීවී වැඩසටහන් මාලාවක් ඇතුලෙ ලංකාවෙ පොප් එක වැඩකරන්න පටන් ගත්තා. සිනමාවෙන් ගිලිහිච්ච හීන නඩත්තු කරන්න ටීවී එක ඇපකැප වුනා. ඒක ලොකු ලාබ ලබන ව්‍යාපෘතියක් වුනා. හරියටම බැලූවොත් රියැලිටි ටීවී ආර්ට් එක හරියට දැනගෙන හිටියෙ සිරස විතරයි. ආන්ඩුවේ සහ යුද්දයේ ව්‍යාපෘතියෙන් හිරකරපු පොප් ආසාවලට සිරස තරු හීන හදලා දුන්නා.

    ඒ කාලෙ සිනමාවෙ ප‍්‍රවීනයො විසින් ප‍්‍රතික්‍ෂේප කරපු පොඩි ඩිජිටල් කැමරා අරගෙන තරුණ උන් වැඩකළා. ඒ වැඩ කලින් තිබුනු සිනමාවට වඩා වෙනස් සිනමාවක් යෝජනා කළා. වෙනස් තේමාවන්, වෙනස් මිනිස්සු, කොටින්ම වෙනස් සිනමා ආකෘතියක් ඒ චිත‍්‍රපටිවල හැදුනා. හරියටම බැලූවොත් මොලිවුඞ් නව රැල්ල (මලයාලම් සිනමාවෙ) හැදෙන්නත් කලින් ලංකාවෙ මේ නව රැල්ල නිර්මාණය වුනා. ඒත් අපේ ප‍්‍රවීනයන්ගෙ කුහකකම, පසුගාමීත්වය සහ රටේ අතීතකාමය ඇතුලෙ මේ චිත‍්‍රපටි ධාරාව හිරවුනා. දැන් අවුරුදු 10ට විතර පස්සෙ අපි මේ නරඹමින් ඉන්නෙ අපිට පුරෝගාමී වෙන්න තිබුණු සිනමා රැල්ලක මගහැරුනු ඒ මොහොත. අලූත් නිර්මාණකාරයො තමන්ගෙ වැඩකොටස කළා. ඒත් රට ලෑස්ති වෙලා තිබුනෙ නෑ,

    නිනෝ ලයිව් වලින් පටන් ගන්න මේ සිනමාවෙ කසකාරයා වුනේ බූඩි. ඒ නිම්නයක හුදකලාවත් එක්ක. ඒ ෆිල්ම් එකත් අවුරුදු නවයක් විතර පදම් වුනා. බූඩි ඊට පස්සෙ කරපු මාතා පවා කලින් රිලීස් වුනා. ඒකයි මං කියන්නෙ කාලය එනකල් අපිට ඉන්න වුනා කියල. නිනෝගෙන් පස්සෙ මේ විදිහෙ චිත‍්‍රපටි රැල්ලක්ම එන්න තියෙනවා. පරක්කු වෙලා හරි ඒ රැල්ල විසින් වෙනස් සිනමාවක් ස්ථාපිත කරනවා. ඒක අඳුරගන්න නිනෝ ලයිව් හොඳ විවරයක් හදනවා.

    නිනෝ ලයිව් පටන් ගන්නෙ ලංකාවෙ ජනප‍්‍රිය හීනය නතර වුන තැනින්. ඒ කියන්නෙ ටීවී එකෙන්. අවුරුදු දහයකට කලින් සිනමාවෙන් ගැලවිලා ටීවී එකට ගිය පොප් එක නැවත සිනමාවට ගේන්න නිනෝ ලයිව් ට‍්‍රයි කරනවා. ටීවී එක ඉස්සරහ ඉන්න අයව හෝල් එකට ගේන්න අභියෝගයක් ඒ ගොල්ලො බාරගන්නවා.

    ඒක ලව් ස්ටෝරි එකක්. හරියටම කිව්වොත් මෙතෙක් ලංකාවෙ බිහිවුණු කියුට්ම ලව්ස්ටෝරි එකක්. මීට කලින් මෝටර් බයිසිකල් වලත් මේ මොඩර්න් කියුට් ආදරය ටච් කරලා තිබුන. නිනෝ ලයිව් ඊට වඩා ලේයර්ඞ් අත්දැකීමක්.

    ෆිල්ම් එකට පාදක කරගන්නෙ පීටර් වොයර්ගෙ ටෲමන් ෂෝ කියන ෆිල්ම් එක. ලංකාවෙ ගොඩක් අය වෙන ෆිල්ම්වලින් බඩුගන්න බයයි. ගත්තත් හොරෙන් ගන්නවා මිසක් කෙලින් කියල, ඒ දේට ගරුත්වය දීලා ගන්න විදිහ දන්නෙ නෑ. ඒ වෙනුවට තිසර සහ පිරිස ටෲමන් ෂෝ එකට හොමාජ් එකක් විදිහටම තමන්ගෙ කතාව නිර්මාණය කරනවා. ඒක විතරක් නෙමෙයි, ෂොන් පියර් ෂූනෙ ගෙ ‘අමෙලි’ ෆිල්ම් එකේ ආභාෂයත් තදටම දැනෙනවා. විශේෂයෙන්ම නැරේෂන් එකත් එක්ක කතාව බිල්ඞ් අප් වෙන විදිහ. ඒත් ඉන්ටවල් එකට කලින් ටෲමන් ෂෝ එකේ කලාපය ඉවර වෙනවා. රියැලිටි ෂෝ එක ඉවරයි. ඊට පස්සෙ ඒක බලපු උන්ගෙ රියැලිටි එක.

    අපේ ටීවී බලන ඕඩියන්ස් එක ජීවත් වෙන්නෙ ටීවී එකෙන් නිර්මාණය කරලා දීපු යතාර්ථයකයි. දැන් ඉන්ටර්නෙට් ඇවිත් තත්වෙ ටිකක් වෙනස් වුනත් මාස් එක පරණ විදිහමයි. ඒ ගොල්ලො හිතන්නෙ, පතන්නෙ විතරක් නෙමෙයි කතා කරන්නෙ, ආදරේ කරන්නෙ වුනත් ටීවී එකෙන් කියල දීපු විදිහට. තිසරගේ කතාව වෙන්නෙ රියැලිටි ෂෝ අස්සෙ එක කට්ටියක් කෙළවා ගනිද්දි තව කට්ටියක් කෙළවාගන්න ආසාවෙන් පොරකන එකයි. ඇත්තටම ගත්තොත් නොදැන කෙලවා ගැනීම කියන එක දැනගෙන කෙලවා ගැනීමේ ආතල් එකක්, උන්මාදයක් බවට පෙරලෙන එකයි. ‘කෙලවා ගැනීම’ කියන්නෙමත් සාපේක්ෂ අදහසක් විතරයි. මොකක්වත්ම නැති ජීවිතේක කෙලවාගැනීම කියන්නෙත් ලොකු දෙයක් වෙන්න පුළුවන්.

    මේ අලූත් රැල්ලෙ චිත‍්‍රපටි එක්ක අලූත් නළුනිළියො සෙට් එකකුත් සමාජගත වෙනවා. දස්සා ඒකෙ ප‍්‍රමුඛයෙක්. ලංකාවෙ කියුට් පෙම්වතා කියන අලූත් ආකෘතිය හැදෙන්නෙ දස්සා අතින්. මෙච්චර කල් චන්ඩි පෙම්වතා, සීරියස් පෙම්වතා, රොමැන්ටික් පෙම්වතා හිටියට මේ හුරතලේට හදාගන්න ආස හිතෙන කියුට් කොල්ලා අපේ සිනමාවෙ හිටියෙ නෑ. දස්සා එක්ක සමනලී, යුරේනි, උමාලි, නිනෝ, ජගා, කළණ වගේ වෙනම විදිහක නළු නිළි පරම්පරාවක් මේ සිනමාව අයිති කරගන්නවා. පරණ තරු ක්ලැසික්වලට සීමා වෙනවා.

    නිනෝ කියන්නෙත් සුවිශේෂ සොයාගැනීමක්. උගේ ර`ගපෑමෙ මොකක්ද රියල් එකට එහා ගතියක් ස්වභාවිකවම තියෙනවා. ඒක වෙනම ස්ටයිල් එකක් සහ ලස්සනක් ගේනවා. මේ දේවල් අපි නිතර දකින ස්ටීරියෝටිපිකල් ර`ගපෑම් සහ ර`ගපාන්න ට‍්‍රයිකිරීම් ඉක්මවා යනවා. උන් ඇත්තටම නළුවො කියන එක අපිට දැනෙනවා.

    තුසිත ඉන්නෙ හරිම පුංචි කෑල්ලකට වුනත් උගේ සල්ලාල නැටුම මේ ලියන වෙලාවෙත් මතක් වෙන තරම් ප‍්‍රබලයි. හම්බුවෙන පොඩි චරිතෙ වුනත් පුළුවන් උපරිමෙන් කරන්න හැමෝම ට‍්‍රයි කරලා තියෙනවා. යාලූකම්, මනුස්සකම් සහ ෆිල්ම් ගැන තියෙන නොනිමෙන ඇම්ම කියන එක චිත‍්‍රපටිය පුරාම දැනෙනවා.

    තිසර අතින් නිර්මාණය වෙන කතාවට වඩා මං දකින්නෙ ඒ කතාවෙ සිද්දි නිර්මාණය වෙන ලස්සන. යුරේනි ඉඹින්න කලින් පැලට් එක ගලවන්න හදන තැන වගේ මේකට හොඳ උදාහරණ. පුංචි පුංචි ඞීටේල් වලින් ලස්සන කරලා ඒ විදිහෙ සිද්දි හරහා හරිම සැහැල්ලූවෙන් ගැඹුරු කතාවක් කියාගෙන යන එකයි තිසරගෙ ටැලන්ට් එක. මේ සම්මාන හෝ කලාත්මක සිනමාව නෙමෙයි. නිනෝ ලයිව් කියන්නෙ අපේ වාණිජ සිනමාවට හොඳ බෙන්ච් මාර්ක් එකක්.

    රියැලිටි තරුවක් විදිහට එලියට ආපු සංක දිනෙත්ට නිනෝ ලයිව් ලොකු ඇඞ් එකක්. ඒකෙ ටීවී තරුවක් විදිහටම සංක පෙනී ඉන්න අතරෙම ෆිල්ම් එකේ මියුසිකුත් කරනවා. නිනෝ ලයිව් කියන්නෙ මියුසිකල් ෆිල්ම් එකක්. වෙන විදිහකට කිව්වොත් ෆිල්ම් එක පුරාම තියෙන්නෙ මියුසික්. ඕනකරන රොමැන්ටික් මූඞ් එක හදන්න සහ දිගටම පවත්වාගෙන යන්න සංක එතන ලොකු වැඩකොටසක් කරනවා. ඇත්තටම සංක කියන්නෙ රියැලිටි ෂෝ වලින් හැදිච්ච ඇත්ත එකෙක්. ජනප‍්‍රිය සංගීතයේ නාඩිය ගැන ඌට හොඳ වැටහීමක් තියෙනවා. කලින් මියුසික් කරපු කලර් ෆිල්ම් එකේදී වගේම නිනෝ ලයිව් වලත් සංක මතක හිටින සංගීතයක් නරඹන්නාගෙ ඔලූවෙ ඉතුරු කරනවා.

    මියැදෙන්නට පෙර මොහොතක් වත්... ජීවත් වෙන්න.... වගේ තැන් හිරිඟඩු පිපෙන තරම් ආතල්.
    නිනෝ ලයිව් ෆිල්ම් එක ඇතුලෙ ඒ කාලෙ ෆිල්ම් කරන්න, ආර්ට් කරන්න ද`ගලපු හැම කෙනෙක්ම වගේ ඉන්නවා. පස්සෙ මද්දුම බන්ඩාරට බැනපු කසුන්- ශ‍්‍රීනාත් ඩබල ලිෆ්ට් එකක් ඇතුලෙ ඉන්න එක එහෙම ෆන් එකට කළත් මරු වැඩ. ෆිල්ම් කියන්නෙ අපේ ලයිෆ්මයි කියන එක දැනෙන තැන්. ඒ කාලෙම මායි උදයයි කරපු ‘ආදරේ අංශු මාත‍්‍රයක්’ ෆිල්ම් එකෙන් කෑල්ලකුත් තියටර් එකක් ඇතුලෙ ප්ලේ වෙනවා. මේ එකලස් කිරීම් හරි අපූරුයි. ඒවා අපේ රටට අලූත්.

    ෆිල්ම් එකේ අඩුපාඩු කොතෙකුත් තියෙනවා. ඒත් ඒ කිසි දෙයක් මට අදාල වෙන්නෙ නෑ. ඒ අඩුපාඩු ගැන හිතන්නවත් බැරි තරම් දුරට නිනෝ ලයිව් මාව ඉමෝෂනලි අරන් ගිය දුර හින්ද. කතාව ඉවර වෙන විදිහ එහෙම පට්ට. ඒ විදිහෙ අවසානයන්ට අපේ සිනමාවෙ කලින් උදාහරණ නෑ. කවුරු හරි අහස් ගව්ව, හංස විලක්, බඹරු ඇවිත් වගේ ෆිල්ම් ලංකාවෙ සිනමාවෙ මාර තැන් කියල මාර්ක් කරනවා නම් මං කියන්නෙ නිනෝ ලයිව් කියන්නෙත් ඒ වගේ මාර තැනක්.

    මේ ෆිල්ම් එක පෙන්නන්න අවුරුදු හතක් පුරා එක එක ප‍්‍රදර්ශකයො පස්සෙ ගියා. ඒත් මේකෙ තියෙන පොටෙන්ෂලිටි එක දකින්න ඒ කිසි ප‍්‍රදර්ශකයෙකුට පුළුවන් වුනේ නෑ. මේ අභියෝගය බාරගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. ඒකෙ තේරුම වෙන්නෙම කර්මාන්තයක් විදිහට ඉස්සරහ ඊළ`ග ස්ටෙප් එක අඳුරගන්න තරමෙ ප‍්‍රදර්ශකයො අපේ සිනමාවෙ නෑ කියන එක.

    මේ අලූත් සිනමාව හිරවෙලා තියෙන මැෂින් වලින් එලියට අරන් තිරයක් උඩ පෙන්නන්න අවස්ථාවක් හදන එකට සුනිල් ටී ට විශේෂයෙන් ප‍්‍රශංසාව හිමිවෙන්න ඕන. ඇත්තටම ගත්තොත් සිනමාවෙ අනාගතය වෙනුවෙන් අවශ්‍යම වැඩකොටසක් මේ වෙද්දි මේ චිත‍්‍රපටි වෙළෙන්දා අතින් ඉටුවෙමින් තියෙනවා.



    - චින්තන ධර්මදාස (mirrorarts)

    05 June, 2017

    වික්ටෝරියානු මාවතක අවසන් ගමන් ගිය නොමළ ගැහැණියකගේ හෘද සාක්ෂිය - 28 (ශ්‍රී)

    By: Aththa Withthi On: 6/05/2017 08:33:00 AM
  • Let's Get Social

  • ඇගේ නම සුද්දීය. එදා මෙදාතුර සෑම ගමකම සුද්දීලා සිටින්නීය. තරමක සංස්කෘතික විවෘත භාවයකින් යුතුව සමාජය තුළ හැසිරෙන සහ නිත්‍ය සම්ප්‍රදායකට අනුකූල නොවූ රූපසම්පත්තියෙන් යුක්ත වූ කාන්තාවන් ‘සුද්දියන් සේ හැසිරෙන්නී’ වැනි අරුතක් ආරෝපණය කරමින් සුද්දී නමින් හඳුන්වන ලද්දේ ඇය නියෝජනය කළ ගම තුළම විසූ අන්‍ය කාන්තාවන් හෝ ගැමියන් විසිනි. එවන් ගැහැනියක සෑම විටම පුරුෂයන්ගේ ලිංගික සූරා කෑමට මෙන්ම අන්‍ය ගැහැණුන්ගේ ද්වේශයටද ලක්විය. සයිමන් නවගත්තේගම ලිවුවේද එවන් සුද්දීලා පිළිබඳවය. නමුත් ප්‍රසන්න ජයකොඩිගේ 28 සිනමා පටය තුළින් නිරූපණය වන සුද්දී ගේ කතාව ඊට වෙනස් එකකි. එය අනන්‍යතාවක් සහිතව වෙනම කියවිය හැකි ගැහැණු චරිතයකට වඩා පොදුවේ කාන්තාවන්ට සමාජ පැවැත්ම තුළ මුහුණ දීමට සිදුවන අර්බුධ අරභයා ගොඩනැගුණු සමාජීය සංලාපයකි.

    කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක දිනය ලෙස සෑම වර්ෂයකම මැයි 28 වන දින නම් කර ඇතත් සෑම මසකම දින 28 ක ජීවවිද්‍යාත්මක චක්‍රයකට යටත් වූ ශරීරයක හිමිකාරත්වය ඇති ඇයට සමාජ වටිනාකමක් සහිතව පැවතිය හැකි සංස්කෘතික පසුබිමක් ලංකාවේ සමාජය තුළ තවමත් නිර්මාණය වී තිබේද යන්න ගැටළුවකි. අනෙක් අතට ස්ත්‍රියගේ ලිංගිකත්වය සමාජීය ගැටළුවක් බවට පරිවර්තනය වන්නේ පුරුෂයාට තම ලිංගිකත්වය පිළිබඳව පවතින අපැහැදිලිතාවය ද නිසාය. 

    ස්ත්‍රියක විසින් පුරුෂයකු වසඟයට ගන්නා උපාය මාර්ග හෝ ලිංගික චර්යාවන් පිළිබඳ ලියවී ඇති ලේඛණ හොර රහසේ කියවා උගෙන ගන්නා පිරිමි භාවික ජීවිතය තුළ ප්‍රායෝගිකව මුණගැහෙන ස්ත්‍රියකගේ ශරීර බස මෙන්ම ආත්මීය බසද අවබෝධ කර නොගනිති. සුද්දී ගමේ සිට නගරයට එන්නේ ද නගරයේ සිට අවසානයේ ගමට යන්නේද තමන්ගේ ශරීර භාෂාව වරදවා වටහාගත් පිරිමින්ගේ හූ හඬ මධ්‍යයේය. ඇගේ ජීවිතයට ආරම්භයක් නැත. සිනමාපටය ආරම්භ වන්නේ ඇගේ අවසානයත් සමගය. එනම් කවරකු විසින් හෝ දුෂණය කර ඇයව මරා දැමූ තැන් සිටය.

    අතීතයෙහි ගම ඉතා නිදහස් සංස්කෘතික ඒකකයක් විය. ලිංගික ජීවිතය පවා දොර ජනෙල් ආවරණ වලින් තොර අතිශය නිදහස් වූවක් විය . එකල ගමෙහි ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ තොටුපලයි. දියකෙළි, ඕපදූප , කෙළි කවටකම්, සංලාප ආදී සියල්ලට ම ගැමියා අවසරය ලද්දේ ස්නානය කිරීම සඳහා ලද කාලයයි. අතිශය වෙහෙසකාරී ජීවනෝපායන් නිමකර දාහය නිවාගන්නා ගැමියෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව දියකෙළියෙහි නියුක්ත වූහ.රජවරු පවා සිය ජීවිතයේ සුවිශේෂ අවස්ථාවන් සැමරුවේ වැව සමඟ ඒකාත්මික වෙමිනි. 

    වැව, දාගැබ සහ කෙත යන අවස්ථා ත්‍රිත්වය හරහා ග්‍රාමීය ජීවනෝපාය, සංස්කෘතිය සහ අධ්‍යාත්මීය ව්‍යුහය ඉපැරණි ගැමි සමාජය තුළ මනාව කළමනාකරණය විය. සාහිත්‍ය භාවිතාවේදී කිසියම් කාව්‍යයක් මහා කාව්‍ය්‍යක් වීමට නම් දියකෙළි වැණුම අත්‍යවශ්‍යය අංගයක් වශයෙන් සැලකූයේද ගැමි ජන ජීවිතයෙහි ප්‍රධාන සංස්කෘතික හැඩතල ඒ ඔස්සේ නිර්මාණය වී තිබූ හෙයිනි. එනිසා සෑම සංදේශ කාව්‍ය්‍යක් තුළම දියකෙළි වැණුමක් ඇතුළත් වූ අතර ඒ අතරින් හංස සංදේශයෙහි එන දියකෙළි වර්ණනාව තුළ ස්ත්‍රී සහ පුරුෂ යන දෙකොට්ඨාශයෙහි කෙලිලෝලත්වය සඳහා ලිංගිකත්වය බාධාවක් නොව බවට නිදර්ශන පවතී. 

    අඩක් නිරුවත් සිරුරෙහි රත් පැහැ ලාක්ෂා තවරාගත් ස්ත්‍රීන් ද පුරුෂයන් ද වතුරේ ගිලෙමින්, පිහිනමින් හා උනුන් හා කවටකම් කරමින් රිසිසේ ප්‍රීති වූ අතර අන්‍ය ස්ත්‍රියක් කෙරෙහි හිත ගිය තරුණයකු දිය ක්‍රීඩාවෙහිදී එය පළකරන සියුම්තාවත් එය දකින ඉවුරෙහි වූ සැමියාගේ මානසිකත්වයත් යනාදිය එමොහොතට පමණක් වලංගු ක්ෂණිකව හසුරුවාගත හැකි සුන්දර සිතිවිලි ලෙස හංස සඳෙසෙහි නිරූපණය කෙරේ. පුරාණ ලංකාවෙහි ලිංගිකත්වය පිළිබඳව පැවති නිදහස් භාවය වික්ටෝරියානු සංස්කෘතිය වැළඳගැනීමත් සමග විනාශ වූ අතර ඉන් පසු ගම නමැති ඒකකය සුහදත්වය සහ සංස්කෘතික විවෘතභාවයකින් තොර වූ ගුප්ත සහ අසහනකාරී ඒකකයක් බවට පරිවර්තනය විය. 

    ස්වකීය සැමියා සමග ගංගාවේ ස්නානය කරන සුද්දීට ගමෙහි වුන් සෙසු පිරිමින්ගෙන් තොටුපලේදී විවිධ බලපෑම් එල්ලවන්නේ එවන් පසුබිමක් තුළදීය . ඉන් පසු ස්වකීය විවාහ ජීවිතය තුළ උද්ගත විය හැකි අභාග්‍ය සම්පන්න තත්වය වලක්වා ගැනීම සඳහා සුද්දීගේ ඉල්ලීම පරිදි ගමට ඇති එකම නානකාමරය ඔවුන්ගේ නිවසේ ඉදිවෙයි. නමුත් එහි ඇති කවුලුව තුළින් මාමණ්ඩියගේ බැල්ම සුද්දීගේ නිරාවරණ සිරුරට වැටෙන්නේ නොසිතූ ලෙසය. නමුත් අවසානයේ නානකාමරය තුළ නිරුවතින් නෑම වරදක් ලෙස නිහඩව බාර ගෙන කවුළුවෙන් එබුණු මාමණ්ඩියට සමාව පිරිනමා නිවසින් පිටව ගිය සුද්දීව නැවත සැමියාට මුණ ගැහෙන්නේ වසර පහළවකට පසුවය. ඒ ද මල මිනියක් ලෙසය. ඔහු සිය බිරිඳ පූර්ණ නිරුවතින් දකින්නේ මිනී පෙට්ටි සාප්පුව තුළ එම්බාම් කටයුතු සඳහා සූදානම් කර තිබෙන විටය. ජීවමාන මනුෂ්‍යයා සෑම විටම පරිපූර්ණ සත්‍යයෙන් බහිර්ජන්‍යය. සෑම කෙනාගේම සත්‍යය අවධිවන්නේ මරණයෙන් පසුවය.

    අභයපාල, මනී සහ ලෙනින් නම් වාමාංශික නමක් හිමි, දකුණට බරයයි තමා විසින්ම කියාගන්නා අයිස්ක්‍රීම් වෙළෙන්දා විසින් 28 ශ්‍රී අංක දරන වෑන් රථයෙන් අවසාන ගමන සදහා සුද්දීව ගමට රැගෙන යයි. 28 චිත්‍රපටයට පාදක වන්නේ ඒ අවමංගල චාරිකාවයි. නම ලෙනින් වුවත් රියදුරා මිනී වලට මෙන්ම සමාජයේ අර්බුධකාරී අවස්ථාවන්ට දායක වීමටද ප්‍රිය නොකරයි. හිස් මිනී පෙට්ටියකැයි පළමුකොට මුසාවක් පවසා මිනිය වාහනයේ වහලය මත රඳවාගෙන ගියද අතරමගදී එය බිම වැටීමෙන් මිනී පෙට්ටිය බිඳී යයි. එසේ අඩක් බිඳුනු මිනී පෙට්ටිය තුළින් සුද්දීගේ මුහුණ මදක් නිරාවරණය වෙයි. විටෙන් විට තමා වෙනුවෙන් හඬ නැගීමට ඇය ශක්තිය ලබන්නේ එතැන් සිටය. තවමත් සක්‍රීයව මනී අතේ පවතින තම දුරකථනයට පැමිණෙන ඇමතුම් වල පූර්වාපර සන්ධීගැලපීම සුද්දී විසින්ම සිදු කරනු ලබන අතර කුසුම්ගේ කතාව නිරාවරණය වන්නේ එලෙසය. 

    ගැහැණියට සිය විවාහය තුළ අර්බුධයකට ලක්වීමට සිදුව ඇත්තේ එකිනෙකට වෙනස් ජවනිකා දෙකක් එකවර නිරූපණය කිරීමට ඇයට විවාහය විසින් පවරන හෙයිනි. වඩාත් හොඳ ගැහැනිය වීමත්, වෙසඟනක සේ නිදියහන තුළ විවෘත වීමත් යන පරස්පර ජවනිකා දෙකෙහි එකවර පෙනී සිටීමට වඩා ගණිකාවක බවට පත්වීම හැම අතින්ම ලිබරල්ය. එතැනදී ඇයට හොඳ ගැහැණියක ලෙස රඟපෑම සඳහා වෙර දරන්නට අවශ්‍ය නැත. ඇය මේ මොහොතේ සිටින්නේ ස්වභාවික ජීවවිද්‍යාත්මක පැවරුම තුළ පූර්ණ ලෙස නිදහස්වය. අර්ථකතන වලින් තොර ජීවිතය සැබැවින්ම ඉතා සාමකාමී එකකි. එය මරණයටත් වඩා නිදහස්ය. ගණිකාවකගේ ප්‍රීතිය බිරිඳකගේ භුමිකාවේදී ගැහැණියකගෙන් විනිර්මුක්ත වන්නේ ස්ත්‍රිය මෙන්ම පුරුෂයාද උනුන් ඉදිරියෙහි රංගනයක නියුක්තවන හෙයිනි. එබැවින් ස්ත්‍රී පුරුෂ ලිංගික එක්වීම් යනු ව්‍යාජ හැසිරීම් සහිත නාටකයකි. සෑම විටම ඒ නාටක අවසන් වන්නේ ඛේදන්තයක් ලෙසිනි.

    සිනමාපටය ස්ත්‍රී පුරුෂ සමාජබාවය සම්බන්ධ අති සියුම් ප්‍රකාශනයක් වීම වළක්වාලන බාධාකාරී අවස්තා කිහිපයක්ද වේ. එනම් සිනමාපටය ආරම්භ වන්නේ මරා දැමූ සුද්දීගේ මිනිය සහ නඩු භාණ්ඩ වශයෙන් ගැනෙන අත් භෑගය , ජංගම දුරකථනය කිසිදු බාධාවකින් තොරව ලබාගත් ඇගේ සැමියා සහ ගෝලයා විසින් මිනී පෙට්ටියක දමාගෙන වාහනයක රැගෙන එන දර්ශනයකිනි.ඒ එන අතරමග මිනී පෙට්ටිය මග වැටී යළිත් ඒ ස්ථානයට ඔවුන් යන අවස්ථාවේ සෙනග රැස් වී හිඳිති. 

    ඒ සෙනග පලවා හැරීමට අබපාල ව්‍යාජ ගැටුමක් මණී සමග ඇති කර ගනී. එ සුනිල් සෝම පීරිස් ගේ චිත්‍රපටයක දැකිය හැකි අන්දමේ සීනිබෝල ප්‍රයෝගයකි. එමෙන්ම සෙනග පලවාහැරීමෙන් අනතුරුව ඒ අසලම පාලමක් යට මිනිය තබාගෙන එහි ඇඳුම් සෝදමින් බොහෝ විවේකයෙන් විනෝදයෙන් පසුවන දර්ශනයද අතිශය අභව්‍යය. එසේ නම් එය යථාර්තවාදී පසුතල, සාමාන්‍ය වැසියන්ගෙන් තොර මායාකාරී ක්‍රමවේදයක් තුළ ඉදිරිපත් කරන්නට තිබුණු අතර මෙම රූපරාමු නැරඹූ ඕනෑම අයකුට සිතෙන්නේ මලමිනියක් පාරේ නවත්තා විහිලු කරමින් සිටින්නට තරම් නිදහස් රටක මේවා ප්‍රශ්නද යන්නයි. 

    සුද්දී වරකෙ තම වයස අවුරුදු 37ක් බව පවසයි. නමුත් ලෙනින් නම් රියදුරු අත පත් වන ඇගේ ගුවන් ගමන් බලපත්‍රයේ සමීප රූපය අනුව ඇගේ උපන්දිනය 1974 ලෙස සටහන් වේ. සිනමාපටය නිෂ්පාදනය කළ වර්ෂය සහ එය තිරගත වන වර්ෂ අතර පරස්පරතාව මීට හේතු විය හැකි වුවත් ප්‍රෙක්ෂකයා එය ගණන් බලන්නේ තමා සිනමාපටය නරඹන වර්තමානය සමග සසඳමිනි. එබැවින් නිත්‍ය ලෙස සුද්දී තහවුරු කරන දෙය සර්වකාලීනව පවත්වාගැනීම සඳහා ඇගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධ සමීප රාමුව සංස්කරණයේදී ඉවතිවිය යුතුව තිබිණි. 

    සංස්කරණ ශිල්පියාට සහ කලා අධ්‍යක්ෂවරයාට මගහැරුණු අවස්ථා කිහිපයක් නිසා සිනමාපටයෙහි රිද්මයට මද වශයෙන් හානියක් සිදු වුවද තම මෙහෙය නියමාකාරයෙන් වටහා ගන්නා සංගීත අධ්‍යක්ෂවරයා නිසා සුද්දීගේ ආත්මයේ හඩ තීව්‍රවෙයි. ස්ත්‍රිය හදුකලා එක්කයක් ලෙස කියවීමත්, ඇය පිරිමියකු හා බද්ධ කොට සමාජීය ඒකකයක් ලෙස කියවීමත්, ඇය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළ පොදු විග්‍රහයක් ලෙස අර්ථකතනය කිරීමත් යන අතිශය සංකීර්ණ ක්‍රියාවලිය තුළ දේශක බමුණුමුල්ල ගේ සංගීතය අති සියුම් සහ ප්‍රබල උපක්‍රමික උපකරණයක් බවට පත්වෙයි. අවසානයෙහි එය සේ සුද්දීගේ මෙන්ම සිනමාපටයෙහි ද ආත්මය බවට පත්වේ.

    සේමිණී ඉද්දමල්ගොඩ පළමු වරට තමා රංගන ශිල්පිණියක බව තහවුරු කරන්නේ 28 සිනමාපටය තුළිනි. ඇය විසින් ස්වකීය රංග පෞර්ෂ්‍යය ප්‍රතිභාන්විත රංගවේදියකු වූ මහේන්ද්‍රපෙ රේරා සමග සමස්ථානයක පවත්වාගැනීමට සමත් වන්නීය. එමෙන්ම සහය නළුවන් ලෙස සරත් කොතලාවල සහ රුක්මල් නිරෝෂ් ගේ දායකත්වයද සුවිහේෂය. ඔවුහු තම චරිත නිරූපණය උදෙසා සඳහා ලද අවසරය නිරායාසික ජීවන අවබෝධයක් තුළ සිනමාකෘතියට මුදාහරිති. එය අතිශය නිදහස් සහ සැහැල්ලු ඉදිරිපත් කිරීමකි. මේ සියළු දෙනාගේ අභිනයන් සියුම් ලෙස උකහාගන්නා චන්දන ජයසිංහගේ කැමරාව ද සුවිශිෂ්ටය. එය මනස සහ මසැස අතර රික්ත සොයමින් නව මානයන් සොයා ගිය කැමරාවකි.

    විවාහය සඳහා දෙපැරැන්දේ ඇති අවයවය පමණක් ප්‍රමාණවත්ය සිතන, කුප්පිලාම්පුව නිමාගෙන රති සුව විඳින, පුරුෂයා නිදහස අත්විඳින්නේ මුත්‍රා කිරීම තුළ පමණි. බහිස්‍රාවය මුදා හිරීමේදී ලබන සුවයවත් ඔවුහු රමණයෙන් නොලබති. ආදරය සහ ලිංගිකත්වයේ ඇති ආත්මීය බැඳීමත් ජීව විද්‍යාත්මක ප්‍රහර්ෂයත් මග හැරගන්නා පුරුෂයාට අනෙකාගේ හැඟීම් සහ ප්‍රතිචාර යනු අතිශය අර්බුධකාරී අවස්ථාවන් බවට පත්වේ. එබැවින් ඔවුහු සුවය ලබන්නේ ප්‍රතිචාරයක් නොමැති නිසල භෞතික වස්තුවක් සමග රමණය කිරීමෙනි. එබැවින් ඔවුහු රිසි ලෙස ස්ත්‍රියක විඳින්නේ ඇයගේ මරණයෙන් පසුවය. මල්ශාලාවේදී සුද්දීගේ නිරුවත දැක භාවාර්ද්‍ර වන අභයසිරිත්, සුද්දීව දූෂණය කොට මරා දැමූවන්ගේ සිතිවිලිත් යන දෙකම සමාන වේ. 

    සැබැවින්ම දූෂකයෝද අනුකම්පාවට පත්විය යුත්තෝය. ජීවිතය තුළ පවතින්නට බැරි මිනිසුන් මලවුන් සමග ගණුදෙණු කරති. විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම, මිත්‍යා විශ්වාස, සංස්කෘතික කුහකභාවය , අතීතයෙහි ගිහි ජන ජීවිතයෙහි සැකැස්ම කෙරෙහි පන්සල තුළින් ලැබුණු අධ්‍යාත්මික පිටුබලය ද ගම තුළින් ගිලිහී ගියේය. ගෝත්‍රිකත්වයේදී ස්වබාවධර්මය සමග වූ ඒකාබද්ධතාව මුළුමණින්ම බිඳ දමා අවබෝධයක් තුළ වින්දනය කළ යුතු ජීව විද්‍යාත්මක සන්ධිස්ථාන සහ ක්‍රියාවලීන් හුදු සංස්කෘතික උත්සවයක් තුළ නිෂ්ප්‍රයෝජන චාරිත්‍රයක් බවට පත්කොට විකෘති කිරීම තුළ මළවුන්ගෙන් ජීවිතය සොයා යෑමට පුරුෂයන්ට සිදු වූ අතර ඒ උදෙසා ස්වකීය ජීවිතය පිරිනැමීමේ අවධානම ස්ත්‍රීන්ගේ නිත්‍ය ඉරණම බවට පත් විය.

    - උපේක්ෂා නුවන්ශ්‍රීනි -

    04 June, 2017

    Wonder Womanට ලෙබනනය හරස් වෙයි

    By: Aththa Withthi On: 6/04/2017 06:10:00 AM
  • Let's Get Social

  • ඊයේ (02දා) දින සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹි Wonder Woman චිත්‍රපටය ලේබනනයේ පමණක් තහනම් කිරීමට එරට ආරක්ෂක දෙපාර්තමෙන්තුව විසින් ඉල්ලීමක් කර ඇත.

    ඊට හේතුව වී ඇත්තේ මෙහි සුපිරි කාන්තාවගේ චරිතයට පණ පොවන හොලිවුඩ් නිළි ගැර්ල් ගැඩොට් ඊශ්රායල් ජාතික කාන්තාවක වීම නිසාය.

    පැටි ජේකින්ස් (Patty Jenkins) ගේ නිර්මාණයක් වූ Wonder Woman හැලන් හේර්න්බග් (Allan Heinberg) ගේ තිර රචනයකි.

    බ්‍රිතාන්‍යයේ රූ ගත කර ඇති මෙම චිත්‍ර‍පටය විකාශන කාලය විනාඩි 141 කි. සුරූපි හොලිවුඩ් නිළි ගැර්ල් ගැඩොට් (Gal Gadot) ඩයනා කුමරිය හෙවත් සුපිරි වීරවරිය ලෙස ප්‍ර‍ධාන භූමිකාවට පණ දෙන අතර ක්‍රිස් පැනේ(Chris Pine) රොබින් රයිට්, ඩැනී හූස්ටන්,ඩේවිඩ් දෙවිල්ස්, එලීනා අන්‍යා වැනි සුපිරි හොලිවුඩ් නළු නළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

    Wonder Woman හෙවත් ඇය විස්මිත ගැහැනියකි. නමුත් ඈ සතු සුපිරි බලය පිළිබඳ කිසිවක් කවුරුත් නොදනි. මේ විස්මිත ගැහැනිය හෙවත් ඩයනා අද සිට ඔබ හමුවන්නේ සුපිරි හොලිවුඩ් චිත්‍ර‍පට ලොවට එක් වන කාන්තාවගේ චරිතය මත පදනම් වූ ප්‍ර‍ථම සජිවි ක්‍රියාදාම සිත්තම වූ ‘Wonder Woman‘ චිත්‍ර‍පටයෙනි. (mirrorarts)

    02 June, 2017

    ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපට නිෂ්පාදකට ඇප

    By: Aththa Withthi On: 6/02/2017 10:00:00 AM
  • Let's Get Social

  • 'ඇහැලේපොළ කුමාරිහාමි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා යැයි කියමින් රුපියල් මිලියන 10ක් ලබාගෙන නැවත නොදී විශ්වාසය කඩකළයි යන සිද්ධියක් සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(1) නියෝග කළේය.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා එම නියෝගය ලබාදුන් අතර එසේ ඇපමත මුදාහරිනු ලැබුවේ බත්තරමුල්ලේ පදිංචි ප්‍රසන්න ගයාන් රණවීර ය.

    මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු වූ ගමගෙදර ටිකිරි බණ්ඩාර මහතා වන අතර පසුගියදා රහස් පොලිසිය විසින් චිත්‍රපට අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

    නිමන්ති රණසිංහ (mirrorarts)

    01 June, 2017

    ප්‍රසන්නගේ 'විසි අට' පොදු ප්‍රේක්ෂකයන් වෙනුවෙන්

    By: Aththa Withthi On: 6/01/2017 06:10:00 AM
  • Let's Get Social



  • ඔබ තිරයට ගෙනෙන මොකක්ද මේ 'විසි අට'?

    මගේ තුන්වැනි චිත්‍රපටය තමයි 'විසි අට' කියන්නේ. ලංකාවේ අපටම ආවේණික සමාජ ගැටලුවක් මූලික කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. නමුත් මේ ගැටලුව සමාජ ගැටලුවක් ලෙසත් සංවේදී සංසිද්ධියක් ලෙසත් විශ්වීය ගනුදෙනුවක් ලෙසත් එකම චිත්‍රපටයක් ඇතුළේ ඉදිරිපත් කෙරෙනවා. ජුනි 2 වැනිදා සිට චිත්‍රපටය තිරගත කරන්න සූදානම්.

    චිත්‍රපටයට 'විසි අට' කියන නාමය යෙදීම තුළ ලොකු ගැඹුරක් අන්තර්ගත කර තිබෙනවා නේද?

    හඳේ චක්‍රයටත් ගැහැණියගේ ඔසප් චක්‍රයටත් ගත වෙන්නේ දින 28ක්. ලිංගිකත්වය කියන්නේ ස්වභාවධර්මයාගේ දේශපාලන ක්‍රියාවක්. විසි අට කියන නම යොදා ගැනීම තුළ තිබෙන්නේ ඒ අදහස.

    ලිංගිකත්වය කියන කාරණාව ලාංකේය සංස්කෘතියට තිබෙන දුරස්ථභාවය තමයි ඔබ මේ චිත්‍රපටයට පාදක කරගන්නේ?

    ඔව්. ලිංගිකත්වය පිළිබඳ තිබෙන සංස්කෘතික දුරස්ථභාවය ගැන තමයි මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ. අපි සමාජයේ දකින චරිත ටිකකට වඩා සමස්ත ගැහැනිය සහ පිරිමියාගේ හඬ නොනඟින දෙබස් තමයි මෙයින් එළියට මුදා හරින්නේ. මේ චිත්‍රපටයේ සිටින සුද්දි කියන ගැහැනිය හඬ නඟලා කියනවා 'ඇත්ත කියන්න පුළුවන් මැරිච්ච කෙනෙක්ට විතරයි කියලා. සරල දෙබස් ඇතුළේ සමාජයේ සංකීර්ණ ගැටලුවක් ගැන තමයි එලෙස කතා කරන්නේ.

    ඔබට අවශ්‍ය වුණේ සමස්ත සමාජය වෙනුවෙන් පාපෝච්චාරණයක් කරන්නද?

    මෙය පාපෝච්චාරණයක් කියලා යම් පුද්ගලයෙක්ට කියන්න පුළුවන්. අපේ ජීවිතවල තියෙන දුක, සතුට කියාගන්න අවස්ථාවක් ආවම අපි කවුරුන් හෝ එක්ක විවෘත වෙනවා. මේ චිත්‍රපටයේ ගැහැනිය විවෘත වෙන්නේ ප්‍රේක්ෂකයන් එක්ක. මෙයින් ඔවුන්ගේ ජීවිතවල ඝට්ටනය අමු අමුවේ එළිදරව් වෙනවා. ඒ හරහා චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාටත් තමන්ව විවෘත කරගන්න මොහොතක් එනවා.

    චිත්‍රපටයෙන් කියන්නට උත්සාහ කරන දාර්ශනික යථාර්ථය පොදු ප්‍රේක්ෂකයාට ඒ ආකාරයෙන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතිනවා කියලා ඔබ විශ්වාස කරනවද?

    මගේ සංකාරා සහ කර්ම කියන චිත්‍රපට ගත්තොත් ඒ චිත්‍රපට සිනමා අවබෝධය එක්ක ග්‍රහණය කරගත හැකි චිත්‍රපට. 'විසි අටෙන්' මට ඕන වුණා ලංකාවේ පොදු ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගන්න. යමෙක්ට පොතක් කියෙව්වත් එය ග්‍රහණය කරගන්න අත්දැකීම්, පරිකල්පන ඥානයේ ප්‍රමාණය බලපානවා. ඒ සීමා මේ චිත්‍රපටය නැරැඹීමේදීත් තියෙන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටයේ තල තුනක් තියෙනවා. එක් එක් පුද්ගලයාගේ අත්දැකීම් ප්‍රමාණය අනුව මේ චිත්‍රපටය ග්‍රහණය කරගන්න පුළුවන්. ඒක තමයි මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය. මෙහි සිටින ගැහැනිය හැම ගැහැනියක් වෙනුවෙන්ම පෞද්ගලික ජීවිතය එළියට දානවා. ලිංගිකත්වය අර්බුදයක් වෙන්නේ කෙසේද කියන එක ග්‍රහණය කර ගන්න පුළුවන් මට්ටමට තමයි චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.

    ඒ කියන්නේ ඔබේ අනෙක් චිත්‍රපට ද්විත්වයට වඩා 'විසි අට' පොදු ප්‍රේක්ෂකයා දිනා ගනියිද?

    ඇත්තටම මම හිතනවා සංකාරා සහ කර්ම චිත්‍රපට දෙකට වඩා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට යන චිත්‍රපටයක් වෙයි.

    මේ වෙනකොට යම් සිනමා ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටය නරඹලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සුබවාදිද?

    බහුතර ප්‍රේක්ෂක ප්‍රතිචාර සුබවාදියි. කොළඹ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලෙදී ලාංකේය ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය නරඹන්න පුළුවන් වුණා. එදා චිත්‍රපටය බලන්න අතිවිශාල පිරිසක් හිටියා. සමහරුන්ට හැරිලා යන්නත් සිද්ධ වුණා. එදා චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර තාමත් මට ලැබෙනවා.

    ලිංගික කාරණා ගැන කතා කරද්දිත් ඔබ එය සිනමා නිර්මාණයෙන් ඉදිරිපත් කරන්නේ සංයමයකින්. එවැනි සංයමයක් ගොඩනැංවූවේ ස්වයං වාරණයක් නිසාද? නැතිනම් නිර්මාණයට අවශ්‍ය හැඩය එය නිසාද?

    ලිංගිකත්වය ගැන කතා කළාට මේ චිත්‍රපටයේ නිරුවත් දර්ශන නැහැ. මෙය සියලුම ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මේක මනසේ කතාබහක් විවෘත කරන අවස්ථාවක්. ලිංගිකත්වය පෙන්වීමට හෝ සැඟවීමට නෙවෙයි මට වුවමනා වුණේ. සමාජ සංස්කෘතික ගැටලුවක් චිත්‍රපට මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් කරන්නයි මම උත්සාහ කළේ.

    චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට ගේන්න වසර හතරක් බලාගෙන ඉන්න වුණානේ. හැබැයි ඔබේ පිළුණු නොවෙන තේමාව නිසා කාලය ඔබට ගැටලුවක් නොවෙන්න ඇති?

    මේ චිත්‍රපටය කළේ අවුරුදු හතරකට කලින්. නමුත් මේ කතා කරන දෙය තාමත් යාවත්කාලීනයි. හැත්තෑව දශකයෙ කතා කළාත් අද කතා කළාත් හෙට කතා කළත් මේ ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා චිත්‍රපටය දැන් ප්‍රේක්ෂකයා අතරට එන එක ගැටලුවක් නැහැ.

    මේ චිත්‍රපටය ගලාගෙන යන්නේ ප්‍රධාන චරිත හතරක් වටා. චිත්‍රපටය සාර්ථක කරගන්න නම් නළු නිළියන්ව සූක්ෂමව තෝරා ගන්න සිද්ධ වෙනවා. ඔබත් නිර්මාණය වෙනුවෙන් හොඳම චරිත තෝරා ගැනීමක්ද කරලා තිබෙන්නේ?

    පැහැදිලිවම. මගේ එක නිර්මාණයක ඉන්න කෙනෙක් මගේ තව නිර්මාණයක නැහැ. මම යම් චරිතයකට ගන්න කෙනා ඒ වගේ චරිතයක් මීට කලින් කර නොතිබෙන්න පුළුවන්. මහේන්ද්‍ර කියන්නේ දක්ෂ නළුවෙක්. චිත්‍රපටයේ දර්ශනවල දිග ප්‍රමාණය අනුව ඒ රංගනය කරන්න පුළුවන් දක්ෂ නළුවෙක්ට විතරයි. දැනට ඉන්න දක්ෂ නළුවෙක් තමයි මහේන්ද්‍ර කියන්නේ. එක් එක් මනෝභාවයන් පෙන්නුම් කරමින් රඟපෑම සරල නැහැ. ඒ වගේම සරත් කොතලාවල, රුක්මල් නිරෝෂ්, සේමිණි, මේ වගේ චිත්‍රපටයට ගෙනත් තියෙන හැමෝම ප්‍රවීණයන්.

    ප්‍රවීණයන්ම චිත්‍රපටයට දායක කර ගන්න හිතුවේ?

    ශිල්පීන්ගේ රංගන කුසලතාවය මත පදනම් වෙලා තමයි මේ චිත්‍රපටය දුවන්නේ. මගේ අනෙක් චිත්‍රපටවල රූපයට තමයි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. නමුත් මේ චිත්‍රපටයේ ප්‍රමුඛතාව තියෙන්නේ රංගනයට. ප්‍රවීණ රංගන ශිල්පීන්ට ඒ කාර්යය කරන්න පුළුවන්. ඔවුන්ව සම්බන්ධ කර ගැනීමේ ප්‍රතිඵලය දැන් දකින්න තියෙනවා.

    ඒ කියන්නේ ඔබ සෑහීමකට පත්වෙන උපරිමය ඔවුන්ගෙන් නිර්මාණයට ලැබිලා තියෙනවා කියන එකද?

    අනිවාර්යයෙන්ම. ඔවුන් උපරිම දායකත්වය ලබා දීලා තියෙනවා.

    ඔබේ චිත්‍රපට ඔබම තිර රචනය කරන්න විශේෂ හේතුවක් තියෙනවද?

    අපි සුළු සිනමා සම්ප්‍රදායක ඉන්න නිර්මාණකරුවෝ. ඒ සිනමාව ජයග්‍රහණය කරන්න නම් නිර්මාණකරුම පිටපත ලිවිය යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද තමන්ගේ චින්තනය පිටපතෙන් එළියට දාන්න පහසුයි. අනුන්ගේ පිටපතකින් සාර්ථක වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තමන්ම තිර පිටපත කළොත් කරන වැඩේ සාර්ථක කරගන්න පුළුවන්.

    මේ වෙනකොට '28' ජාත්‍යන්තර ඇගයුම් ලබලත් තියෙනවනේ. ඒ ගැනත් මතක් කරමු?

    මේ චිත්‍රපටය සිනමා උළෙල ගණනාවකට ඉදිරිපත් වුණා. ඒ අතරින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලින් ව්ඡ්ඊර්ථීඒඛ් සම්මානය හිමිවුණා. ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් නුවර පැවැති ඒඵඪච ර්ථීචජඪටඪජ ඉජපඥඥද ඒඹචපඤඵ සිනමා සම්මාන උළෙලේදී මහේන්ද්‍ර හොඳම රංගනය වෙනුවෙනුත් මම හොඳම තිර රචනය වෙනුවෙනුත්, චිත්‍රපටය වෙනුවෙන් නොම්නේට් වුණා. ඒ වගේම බේ්‍රලෙඩ් සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයකුත් ලැබුණා.

    ඔබේ සිනමා වෑයම චිත්‍රපටය ජාත්‍යන්තර ඇගයුමට ලක් කිරීමද නැත්නම් ප්‍රේක්ෂකයෝ දිනා ගැනීමද?

    මේක ජාත්‍යන්තරය අරබයා කරපු චිත්‍රපටයක් නෙමෙයි. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය යූරෝපීයන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒ අයට ලිංගිකත්වයට තිබෙන සංස්කෘතික දුරස්ථභාවය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සිනමා උළෙලවලට ගියාමත් ඔවුන් මගෙන් ඇහුවේ ලංකාවේ ස්වාමියා සහ බිරිය අතර ලිංගික රහස් තියෙනවද කියලා. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන්ව අරමුණ කරගෙන කළේ. ඕනෑම නිර්මාණකරුවෙක්ට තමන්ගේ නිර්මාණයෙන් ලෝකය ග්‍රහණය කර ගැනීමේ බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. එය වරදක් නැහැ. හොඳ නිර්මාණයක ලක්ෂණය තමයි එය ඕනෑම ප්‍රේක්ෂකයකුට ග්‍රහණය කරගත හැකිවීම.

    හැබැයි ජාත්‍යන්තර ඇගයුම් ලබන බොහෝ චිත්‍රපට ලංකාවේ ප්‍රේක්ෂකයෝ දිනා ගන්නේ නැහැ. එයටත් හේතුවක් ඇති?

    එයට ප්‍රශ්න තියෙනවා. දැන් පොදුු ප්‍රේක්ෂකයා සිනමාව රසවිඳින්න පෙලඹෙන්නේ හරි අඩුවෙන්. සමහරු සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලලා තියෙන්නේ කාලෙකට කලින්. සිනමාවට පුරුදු වුණ ප්‍රේක්ෂකයෝ තමයි සිනමා ශාලාවකට යන්නේ. කලාත්මක චිත්‍රපටයකට වුණත් යම් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. හැබැයි ඒ එන ප්‍රේක්ෂක පිරිසවත් සිනමා ශාලාවලට ගෙන්වන ක්‍රමවේදය පොහොසත් නැහැ. ඒ ක්‍රමවේදය තව තව හැදෙන්න ඕනෑ.

    ඊළඟ සිනමා නිර්මාණයන්ට ඔබ මොන වගේ සූදානමකද ඉන්නේ?

    මගේ ඊළඟ චිත්‍රපටය දඩයක්කාරයා. ඒ චිත්‍රපටය නිම කරමින් තියෙනවා. ඒ වගේම තවත් පිටපතක් ලියමිනුත් ඉන්නවා.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

    30 May, 2017

    ජැකී චෑන් සහ ස්ටැලෝන් එකම වැඩක

    By: Aththa Withthi On: 5/30/2017 05:10:00 AM
  • Let's Get Social


  • සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රවීණ නළු ජැකී චෑන් එකම චිත්‍රපටයක රඟපෑමට සුදනම් වන බව වාර්තා වනවා.

    ස්ටැලෝන් මේ පිළිබඳ පවසා ඇත්තේ ජැකී චෑන් සමඟ චිත්‍රපටයක රඟපාන්ට ඇරයුම් ලබද්දී තමා යම් තරමක තිගැස්මකට ලක්වු බවයි.

    පුළුල් තිරයේ දැවන්තයෝ දෙදෙනා මෙලෙස එක්ව චරිත නිරූපණය කරන්නේ Ex-Baghdad නම් වූ ක්‍රියාදාම චිත්‍රපටයෙයි.

    ' ජැකී චෑන් කියන බලවත් එඩිතර සටන් නළුවා සමඟ රඟපාන්න දර්ශන තලයට යද්දී මට දැනුනේ ලොකු සතුටක් ඒ දිනය මට අමතක වෙන්නේ නැහැ 'ස්ටැලෝන් ඒ පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබෙනවා.

    මීටපෙර ද ස්ටැලෝන් ජැකී චෑන් සමඟ බියුරා හොලිවුඩ් බියුරා නම් වූ චිත්‍රපටයේද ඔහු රංගනයේ නියැළි තිබෙනවා. 


    (mirrorarts)

    29 May, 2017

    සචින්ගේ සිහින බිලියනය ටැක්ස් ෆ්‍රී

    By: Aththa Withthi On: 5/29/2017 09:00:00 AM
  • Let's Get Social


  • අපි කවුරුත් ආසයි චරිතාපදාන චිත්‍රපට නරඹන්න. ඒකත් ක්‍රීඩාවකට සම්බන්ධ එකක් නම් විශේෂයි.

    මේ කියන්න යන්නෙත් එවැනි චිත්‍රපටයක් ගැන. අපි කවුරුත් දන්නවා ඉන්දීය සිනමාවෙන් එවැනි චිත්‍රපට කිහිපයක්ම එළි දැක්වුණු බව.

    එම්.එස්. දෝනි, මේරි කොම්, බාග් මීකා බාග්, වැනි මෑතකදී ඉන්දීය සිනමාවට එක්වුණු චරිතාපදාන චිත්‍රපට අතරට අලුතෙන්ම එකතු වන චිත්‍රපටය සචින් අ බිලියන් ඩ්‍රීම්ස් 'Sachin A Billion Dreams' (සචින් සිහින බිලියනයක්).



    මෙහි තිර රචනය හා අධ්‍යක්ෂනය ජේම්ස් අර්ස්කයින්ගෙන්.

    ක්‍රිකට් පිටියේ සුපිරිතම පිතිකරුවෙක් ලෙස අදටත් වැජඹෙන සචින් තෙන්ඩුල්කාර්ගේ ජීවිත කතාව අලලා සැකසුණ මේ චිත්‍රපටය එළඹෙන 26 වනදා ඉන්දියාවට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

    පසුගියදා සති අන්තයේදී මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා සචින් හා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හෙ අතර විශේෂ සාකච්ඡාවක්ද පැවතුනා.

    වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය බදු අය කිරීමකින් තොරව ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක්ම අවසර ලබාදී ඇති බව වාර්තා වනවා.

    සචින් ගේ සිහින ඉන්දිය සිනමාවට එක්වෙයි (වීඩියෝ)


    (mirrorarts)

    27 May, 2017

    කෑන්ස් සිනමා උළෙලට ගිය රත්නම් ගේ ‘Demons In Paradise‘ (Video)

    By: Aththa Withthi On: 5/27/2017 06:10:00 AM
  • Let's Get Social

  • ලෝකයේ අන්තර්ජාතික සම්භාව්‍ය සිනමා උළෙල සේ ගැණෙන ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙල මේ දිනවල පැවැත්වෙන අතර එහි වාර්තා සිනමා අංශයේ තරඟකාරී නොවන විශේෂ සිනමා දැක්මක් ලෙස ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික තරුණ සිනමා කරුවෙකුගේ වාර්තා චිත්‍රපටයක් ඊයේ (24) තිරගත කෙරිණ.

    ඒ ජූඩ් රත්නම් නමැති නවක සිනමා කරුවාගේ Demons in Paradise හෙවත් ‘පාරාදීසයේ යක්ෂයෝ‘ නමැති සිනමා පටයයි.

    මෙය ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා ඇදුනු වාර්ගික යුද්දය පදනම් කර ගත් සත්‍ය තොරතුරු වලින් සමන්විත වාර්තා චිත්‍රපටයකි. සිනමා කරුවා වසර 10 ක් පුරා මෙම වාර්තා චිත්‍රපටය නිමවා තිබේ.

    ජූඩ් රත්නම් වනාහී 1983 දී වයස අවුරුදු 6 ක දරුවෙක් ලෙස කළු ජූලියේ බිහිසුනු අත්දැකීම් වලට මුහුණ දුන් අයෙකි. එවකට පුංචි බොරැල්ලේ ජීවත් වූ ජූඩ් දරුවා ගේ නිවස ජාතිවාදීන් විසින් ගිනි ලා විනාශ කළ අතර ජූඩ් ඇතුළු පවුලේ පිරිස ජීවිතය බේරා ගෙන දුම්රියෙන් යාපනය බලා ගිය පවුලකි. ඔහුගේ පියා ඇන්ග්ලිකන් පූජකවරයෙකි. ඔහුට අපූරු මාමා කෙනෙකු විය. ඔහු ද 83 කළු ජූලියෙන් දිවි බේරා ගත් අයෙකි. එවකට මහනුවර සිටි මාමා ගේ ජීවිතය බේරා දුන්නේ සිංහල පවුලකි. මාමාද යාපනයට පලා ගිය අතර පසුව ඉන්දියාවට පලා ගොස් සන්නද්ධ පුහුණුව ලැබීය.

    සිංහල හමුදාව යාපනයේ ගෙන ගිය දරුණු මර්දනකාරීත්වයට එරෙහිව සටන් කිරීමට යාපනයට පැමිණි මාමා දුටුවේ හමුදාවේ කුරිරුකම් සේම දෙමළ කැරළිකරුවන්ගේද කුරිරු කමයි. ඔහු සටන් කිරීම අතහැර යළි කොළඹට පැමිණ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි. දෙමළ බසද සිංහල බසද ඉංග්‍රීසි බසද මනා සේ හැසිරවිය හැකි හේ අන් කිසිවෙක් නොව කවුරුත් දන්නා ‘මනෝරංජන්‘ මාධ්‍යවේදියා ය.

    අවාසනාවකට ඔහු ලංකාව අතහැර කැනඩාවේ පදිංචියට ගියේ ය. ජූඩ් රත්නම් තම වාර්තා සිනමාවට තමා සහ තමාගේ වීරයෙකු වූ මාමාගේ අත්දැකීම් ඇසුරුකර ගනිමින් මෙම Demons in Paradise හෙවත් ‘පාරාදීසයේ යක්ෂයෝ‘ වාර්තා සිනමා පටය නිමවා තිබේ.

    මෙම වාර්තා චිත්‍රපටය බොහෝ දෙමළ වාර්තා චිත්‍රපට වලින් වෙනස් ය. දෙමළ ජනතාවට තිබූ සැබෑ ප්‍රශ්න මත ඇරඹුනු සාධාරණ අරගලයක් වූ දෙමළ අරගලය අවසානයේ තමන්ගේම ජනතාව මරා දමන ම්ලේච්ඡ ෆැසිස්ට් යුද්ධයක් වූයේ කෙසේදැයි අධ්‍යක්ෂකවරයා ප්‍රශ්න කරයි. අවසාන යුද්දයේදී දෙමළ අරගලය පරාජය වනවා නම් හොඳ යැයි තමන් ප්‍රාර්ථනා කළ බවත් ඒ අනුව තමන් දෙමළ ජනතාවගේ ජනප්‍රිය අර්ථයෙන් ‘ද්‍රෝහියෙකු‘ වීම පැතූ බවත් ඔහු පවසයි.

    Demons in Paradise හි පූර්ව ප්‍රචාරක පටය පහත දිගුවෙන් නැරඹිය හැකිය.


    මෙම සිනමා පටයේදී 83 කළු ජූලියේ ප්‍රකට සේයාරුවක් වූ බොරැල්ල හන්දියේ දී දෙමළ ජාතිකයෙකු නිර්වස්ත්‍ර කර මරා දැමෙන සේයාරුව ගත් ඡායාරූප ශිල්පියාගේ අත්දැකීම් ද ඇත. සිනමා පටයේ එක් තැනෙක ජූඩ්ගේ මාමා වූ මාධ්‍යවේදී මනෝරංජන් වසර 35 කට පසු 1983 කළු ජූලියේ දී තමන්ව බේරා ගත් මහනුවර සිංහල පවුල හමුවීමට එන අවස්ථාවක් තිබේ. සත්‍ය රූප රාමු සහිත එම අවස්ථාව ඇත්තටම සංවේදී ය. පහත දැක්වෙන්නේ Demons in Paradise හි එම රූප රාමු කිහිපයයි. 


    (mirrorarts)

    26 May, 2017

    හංසවිලක්' ඩිජිටල් වෙයි

    By: Aththa Withthi On: 5/26/2017 11:23:00 AM
  • Let's Get Social

  • 'හංසවිලක්' ඩිජිටල්කරණය කළා. හංසවිලක් වෙනුවෙන් කළ ඒ වෙනස ගැන මුලින්ම කතා කරමු?

    ඔව්. ජාතික චිත්‍රපට සංස්ථාවේ නිගමනයක් ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයත් මගේ හංසවිලක් චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරන්න තෝරාගෙන තිබුණා. ඒ අනුව තමයි මෙය ඩිජිටල්කරණය කරන්නේ.

    රේඛාව කියන්නේ ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටය. ඒ වටිනාකම රේඛාවට හිමි වෙද්දී හංසවිලක් හිමිකරගෙන තිබුණේ මොනවගේ වටිනාකමක්ද?

    රේඛාව සහ හංසවිලක් චිත්‍රපට දෙකම ඩිජිටල්කරණය කරන්න සුදුසුයි කියලා නිගමනය කර තිබුණේ මේ චිත්‍රපට සිංහල සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂ්‍යයන් වූ නිසා. රේඛාව හැඳින්වූයේ ලංකාවේ නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටය කියලා. මගේ හංසවිලක් චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ 1980දී. ඒතාක් තිබුණු සිනමා ගමන් මඟෙහි විශාල වෙනසක් හංසවිලක් චිත්‍රපටයෙන් ඇති කළා. විවිධ විචාරක අදහස් චිත්‍රපටය වෙනුවෙන් පළවුණා. ඒ අතරෙදි රෙජි සිරිවර්ධන 'හංසවිලක්' ලාංකේය සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස නම් කළා. ඒ වටිනාකම් නිසා තමයි හංසවිලක් චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරන්න තෝරාගෙන තිබුණේ.

    'හංසවිලක්' කියන්නේ ඔබේ පළමුවැනි චිත්‍රපටය. ඔබට අදහසක් තිබ්බද කවදා හෝ චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න?

    චිත්‍රපටයක් සංරක්‍ෂණය කරන්න ඒ වගේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. හංසවිලක් චිත්‍රපටයේ නිෂ්පාදක මියගියාට පස්සේ ඇල්බට් ජයසිංහයන්ගේ බිරියගෙන් මම චිත්‍රපටය මිලදී ගත්තා. විශාල මුදලකට නොවුණත් මගේ පළමුවැනි චිත්‍රපටය මම අමාරුවෙන් මිලදී ගත්තා. ඩිජිටල්කරණයට විශාල වියදමක් යනවා. මම චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න හිටියා නම් මියයනතුරු ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

    චිත්‍රපටය නැවැත තිරයට ගේනවද?

    ඔව්. තව මාස හතරකින් පහකින් චිත්‍රපටය සිනමාහල් කිහිපයක තිරගත කරනවා.

    සිංහල සිනමාව හා බැඳුණු තරුණ පරම්පරාවට හංසවිලක් ඒ යුගයේ වෙනස් අත්දැකීමක් ගෙනාවා නේද?

    ඒ කාලේ ලක්‍ෂ දෙකහමාරක වියදමකින් තමයි මම චිත්‍රපටය හැදුවේ. ඒ යුගය නියෝජනය කළ තරුණ පරම්පරාව මේ චිත්‍රපටය සැලකුවේ අපූරු චිත්‍රපටයක් විදියට. එය ලොකු වටිනාකමක් වුණා. චිත්‍රපටය ඩිජිටල්කරණය කළාට පස්සේ ගොඩක් අය චිත්‍රපටය නැරඹුවා. ඒ වෙලාවේ ජැක්සන් ඇන්තනී කිව්වා මේ චිත්‍රපටය බලන් ඉඳලා තමයි අපි එළියට ආවේ කියලා.

    චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරද්දී ඔබ හිතුවද ඔබේ පළමුවැනි සිනමා නිර්මාණයම සිංහල සිනමාවේ යම් ලකුණක් තියන නිර්මාණයක් වෙයි කියලා?

    චිත්‍රපටය හදද්දී මට ඕන වුණේ එතෙක් නිර්මාණය නොවූ ආරක චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒ වෙද්දි මම විදේශීය, දේශීය චිත්‍රපට නරඹලා පෝෂණය වෙලා තිබ්බා. විශේෂයෙන්ම පෝලන්ත සිනමා කලාව හැදෑරීම හරහා ප්‍රබන්ධයක් නොවන චිත්‍රපටයක් කරන්න තමයි මම උත්සාහ කළේ. පෞද්ගලික ජීවිතය ඇතුළේ අත්දැකීමක කම්පනය තමයි සිනමා නිර්මාණයක් විදියට එළියට එන්නේ.

    ඔබ බලාපොරොත්තු වුණු වෙනස ඔබට අත්දකින්නටත් පුළුවන් වුණා නේද?

    ඔව්. මම චිත්‍රපට නරඹනවා. ඉතිං මම උත්සාහ කළා මේ චිත්‍රපටයේ හැම රූප රාමුවකම සිනමා රූපී බව ආරක්‍ෂා කරගන්න. කතාව ගොඩනැඟීම, චරිත හැසිරීම ආදී සෑම දෙයකින්ම සිනමාරූපී බව පෙන්වන්න උත්සාහ කළා. ස්වර්ණා මල්ලවආරච්චි, වසන්ති චතුරාණි, හෙන්රි ජයසේන ඇතුළු රංගන පිරිස එයට උපරිම දායකත්වය ලබා දුන්නා.

    ඔබත් 'හංසවිලක්හි' රංගනයෙන් දායක වෙනවා. මේක අහම්බයක් කියන්නේ ඇත්තද?

    ඔව් ඒක අහම්බයක්. මම මේ චිත්‍රපටයේ රඟපාන්න හිටියේ නැහැ. නමුත් එයට විශේෂ නළුවෙක් හොයා ගන්න බැරි වුණු නිසා මම එහි රංගනයටත් සම්බන්ධ වුණා. කොහොම වුණත් මගෙන් චිත්‍රපටයට හානියක් වෙලා නැහැ. මම වෙනත් නළුවෙක් හරහා කර ගන්න හිටපු දේ මම මං ලවා කර ගත්තා.

    මොකක්ද ඔබේ සිනමාකරණයේ අරමුණ?

    මනුස්ස ජීවිතය විවරණය කිරීම තමයි ප්‍රධාන අරමුණ. කුහක සදාචාර කල්පනා ලෝකය සිදුරු කිරීමත් අරමුණක්.

    ඔබ පෞද්ගලික අත්දැකීම් සිනමා නිර්මාණයට යොදා ගන්නවා. එහි විශේෂත්වයක් තියෙනවද?

    මට අනුන්ගේ ජීවිත පාදක කරගන්න ඕන නෑ. ලැබූ අත්දැකීම් මත පදනම්ව මම නිර්මාණ කරනවා. ඒ හරහා සමාජය වෙන තැනකට ගෙන යන්න, සමාජය ප්‍රබෝධවත් කරන්න. ප්‍රඥාවන්ත කරන්න තමයි මගේ නිර්මාණවලින් මම උත්සාහ දරන්නේ.

    ඔබ හංසවිලක් හරහා කතා කළ තේමාව එදාට වඩා අදට යෝග්‍ය වෙලා තියෙනවා නේද?

    චිත්‍රපටයෙන් කතා කරන පසුබිම අද තව තව වර්ධනය වෙමින් පවතිනවා. කලාවේ අරමුණ වෙන්නේ ඒ දේවල් තව තව පවත්වාගෙන යන්න අනුබල දෙන එක නෙමෙයි. එය සහමුලින්ම අතුගා දැමීම. මම සංස්කෘතික පිස්සන්ට නෙවෙයි නිර්මාණ කරන්නේ.

    ඔබේ අනෙක් චිත්‍රපටත් ඩිජිටල්කරණය කරන්න අදහසක් තිබෙනවද?

    මම කළ නිර්මාණ ඩිජිටල්කරණය කරන්න කියලා නිෂ්පාදකවරුන්ට කියලා තියෙන්නේ. සුද්දිලාගේ කතාව ඩිජිටල්කරණය කරන්න බන්දුල ගුණවර්ධනයන් කටයුතු කරනවා කිව්වා. භව දුක සහ භව කර්මත් ඩිජිටල්කරණය කරන්න කියලා එය නිෂ්පාදනය කළ ස්වාමින් වහන්සේ දෙනමගෙන් මම ඉල්ලා සිටියා. තුන්වැනියාමයත්, වසන්ත ඔබේසේකරගේ දඩයම සහ පළඟැටියෝ චිත්‍රපටයයත් ඩිජිටල්කරණය කරන්න කියලා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් ඉල්ලීමක් කළා. මගේ චිත්‍රපට විතරක් නෙමෙයි ආරක්‍ෂා කළ යුතු චිත්‍රපට සංරක්ෂණය කරන්න මෙවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ

    25 May, 2017

    සංජීව ගේ Withered Leaf නැවතත් අන්තර්ජාතික ඇගයුමට (Video)

    By: Aththa Withthi On: 5/25/2017 10:54:00 AM
  • Let's Get Social


  • දුමින්ද සංජීව ගේ ප්‍රථම චිත්‍රපටය වන Withered Leaf ස්පාඤ්ඤයේ පැවෙත්වෙන දහසය වන Imagine India අන්තර්ජාතික සිනමා උළෙලේ නිර්දේශිත චිත්‍රපට අතරට තේරීපත්ව තිබේ.

    මෙම සිනමා උළෙල ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේදී පසුගියදා පැවැත්විය.

    චිත්‍රපටය අන්තර්ජාතික වශයෙන් ඈගයෙන තුන්වන අවස්ථාව මෙය වන අතර මීට ප්‍රථම ඉන්දියාවේ ගෝවා ෆිල්ම් බසාර් හිදී හා චීනයේ හොනාෂු නගරයේ පැවති 57වන ආසියා පැසිපික් සිනමා උළෙලේදී ඇගයීමට ලක් විය. එම චිත්‍ර පටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නැරඹිය හැක.



    Withered Leaf _Official Trailer from Duminda Sanjeewa on Vimeo.

    (mirrorarts)

    24 May, 2017

    ඉතිහාසයේ චරිත කිරීම දුෂ්කර කටයුත්තක්

    By: Aththa Withthi On: 5/24/2017 05:40:00 AM
  • Let's Get Social


  • විවිධාංග චරිත නිරූපණයෙන් සිය රංගන ප‍්‍රතිභාවන් එළි දක්වමින් වර්තමාන කලා ක්ෂේත‍්‍රය අලෝකමත් කිරීමට බිහි වූ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් ලෙස දුලානි අනුරාධා හැඳින්විය හැකියි.

    පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැගුම් ගත් චරිත ඉදිරිපත් කළ ඇය විටෙක සම්මානයන්ට ද පාත‍්‍ර වුණේ දක්ෂතා පරිපූර්ණ කලා කාරිනියක වූ නිසාමයි.

    මේ දිනවල බන්ධනය චිත‍්‍රපටය හරහා වැඩි කතා බහකට ලක්ව ඇති ඇය ගැන කතා කිරීමට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් වෙන්නේ ඇයට ආදරය කරන පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන්මයි.

    මේ දිනවල තිරගත වන ”බන්ධනය” චිත‍්‍රපටයෙ චරිතෙ ගැන කතා කරමුද?

    ගැමි තරුණ මවකගේ චරිතයක් කරන්නේ. ඇයගෙ දරුවට පවුල් පසුබිම හරහා වන ප‍්‍රශ්නයක් නිසා දරුවට සිදු වෙන කරදරයක් ගැන තමයි කතාවෙ තියෙන්නේ.

    දුලානි බන්ධනයට සම්බන්ධ වුණේ කොහොමද?

    උදයකාන්ත වර්ණසූරිය මහත්මයා තමයි මට කතා කළේ. මම මේ චරිතය කරනවට ඔහු කැමැත්තෙන් හිටියා.

    මම පිටපත කියවලා බැලූවම මමත් ඒ චරිතෙට කැමැත්තක් දැක්වුවා. කොහොමත් මම ඔහුගේ චිත‍්‍රපටයකට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියෙ. ඒ නිසා ඒ චරිතය නොපැකිළිව භාර ගත්තා.

    මීට පෙර දුලානි ගොඩක් සම්බන්ධ වෙලා හිටියෙ ඉතිහාස ගත චරිත වලටනෙ. ඒවත් එක්ක බලද්දි මේ චිත‍්‍රපටයෙ චරිතය ගොඩක් වෙනස්. ඒ වෙනස කොහොමද දැනුණෙ?

    මේ චිත‍්‍රපටයෙ චරිතය වර්තමානයට ටිකක් ළඟ චරිතයක්. මම මීට පෙර පරාවර්ථන චිත‍්‍රපටයට සම්බන්ධ වෙලා හිටියා. ඒ කතාවත් මේ කියන ගැමි පරිසරය වටා තමයි ගෙතිලා තිබුණෙ.

    මෙහිදීත් තිබුණෙ ගැමි පරිසරය තුළ සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ රඟපෑමනෙ.

    ඉතිහාස කතාවල චරිතයි, සාමාන්‍ය චරිතයි අතර වෙනස දුලානිට කොහොමද දැනුණෙ?

    සාමාන්‍ය චරිත රඟපෑම ඇත්තටම ලේසියි. මොකද ඉතිහාසගත චරිතවල ඒ පසුතලත් එක්ක ඒ ඇඳුම් සහ වස්ත‍්‍රාභරණ ආදී ගොඩක් පළඳින්න වෙනවා. නමුත් සාමාන්‍ය චරිත වල තියෙන ඇඳුම් පැළඳුම් හරි සැහැල්ලූයිනෙ. මොකද චීත්ත ගවුම් එහෙමනෙ අඳින්න තියන්නේ. ඉතින් ඒවත් එක්ක බලද්දි ඉතිහාස ගත චරිත කරන එක ගොඩක්ම අමාරුයි. ගොඩක් ඈත දුෂ්කරව තමයි රූගත කිරීම් වුණත් තියෙන්නේ. ඉතින් ඇත්තටම ලොකු මහන්සියක් දරන්න වෙනවා ඓතිහාසික චිත‍්‍රපටයක රඟපාන්න.

    ඉතිහාස ගත කතා වලදී ඒ චරිත මුල සිටම අධ්‍යයනය කරන්නත් අවශ්‍යද?

    ඔව්. අධ්‍යයනය කිරීමකුත් කරනවා.

    ඊට අමතරව අධ්‍යක්ෂතුමා එක්කත් කතා බහ කරනවා. සමහර වෙලාවට චිත‍්‍රපටවල ඓතිහාසික කතාවල එක පැත්තක් විතරයි සඳහන් වෙන්නේ. ඒ වගේම අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදියට නිර්මාණශීලීව ඒ චරිත ගොඩ නැගෙන්නේ. ඒදේ කතා කර ගෙන තමයි චරිතයක් නිර්මාණය කර ගන්නේ.

    වැඩි කැමැත්තක් දක්වන්නේ මේ අතරින් මොන චරිත වලටද?

    එහෙම කියන්න බෑ. ඉතිහාසගත චරිත රඟ පාන්න ලැබුණු එක ලොකු වාසනාවක් කියලා හිතෙනවා. මොකද ඒ වගේ චරිත. කාටවත් අමතක වෙන්නෙත් නෑනේ. මතකයෙ රැුඳිලා තියෙන ප‍්‍රමාණය වැඩියි. ඒක ලොකු වාසනාවක්. එහෙමයි කියලා වර්තමානයේ දිවෙන සාමාන්‍ය චරිත රඟපාන්න අකමැතියි කියන එක නෙවෙයි මම කියන්නේ.

    ”බන්ධනය” චිත‍්‍රපටයෙ අන්තර් ගත වෙලා තියෙන්නේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් පිළිබඳ කතා පුවතක්නෙ. දුලානිට ඒ දේවල් පිළිබඳ විශ්වාසයක් තියෙනවද?

    දැන් කාලෙදි නම් ඒ ගැන ටිකක් අමාරුයි හිතන්න. ඒත් ඈත කාලෙ නම් යන්ත‍්‍ර මන්ත‍්‍ර කියන දේවල් හරියට තිබුණා. නමුත් මේ වෙද්දි ඒ ශාස්ත‍්‍රය හරියට දැන් උගත් පිරිස අඩුයි. ඒ නිසා තමයි එහි ප‍්‍රතිඵල අපිට පේන්න නැත්තේ. මොකද ඒ කාලෙ තිබුණු ඒ පරම්පරාව, ඒ ගුරු කම් ඒ හැමදේම මේ වෙද්දි විනාශ වෙලා ගිහින්.

    සමස්තයක් විදියට ගත්තම චිත‍්‍රපටය ගැන මොකද හිතෙන්නේ?

    චිත‍්‍රපටය ඇත්තටම හොඳයි. ලංකාවෙ මෙතෙක් නොකරපු වෙනස් විදියෙ නිර්මාණයක්. ඒ සඳහා උචිත විදියට කලූ සුදු විදියට කරපු එකත් මම හොඳයි කියන තැන දකිනවා. 3ෘ තාක්ෂණයෙන් එළිදැක්වුණේ. ඒකත් ගොඩක් විශේෂයි. මොකද ලංකාවෙ චිත‍්‍රපටි එහෙම කෙරිලා නෑ. සමස්තයක් විදියට ගත්තම චිත‍්‍රපටය බලපු හැම කෙනෙක්ම හොඳ චිත‍්‍රපටයක් කියන එක තමයි කිව්වේ.

    ඒ සඳහා රංගනයේ යෙදුණු පුංචි දරුවගෙ රඟපෑම ගැන මොකද හිතෙන්නේ?

    සහේලි ඇත්තටම දක්ෂ ළමා නිළියක්. ඇය මීට පෙර ටෙලි නාට්‍ය වල රඟපාලාත් තියෙන කෙනෙක්. ඉතින් ඇය ඉතා හොඳින් පහසුවෙන් ඇයගෙ චරිතය කළා කියන දේ තමයි මම දැක්කෙ. ඇය පිළිබඳව වද වෙන්න වුණේ නෑ අපිටවත් අධ්‍යක්ෂවරයාටවත්. මම හිතනවා ඇයගේ ඒ දක්ෂතාව තව ඉදිරියටත් තියෙයි කියලා.

    දුලානි කිහිපවරක් හොඳම නිළිය සම්මානයට පාත‍්‍ර වුණානෙ? මේ අවුරුද්දේ ඒ ගැන තියෙන බලාපොරොත්තු කොහොමද?

    ලොකු බලාපොරොත්තුවක් නෑ. ඒ පිළිබඳව සමහර වෙලාවට මාව නොමිනේට් වෙනකම් දන්නෙත් නෑ. නමුත් ඕනෑම කෙනෙකුට ජීවිතේට ගොඩක් වටිනවා ඇගයීම් කියන දේ. ඉතින් ඒක මට හෝ වේවා වෙනත් කෙනෙකුට වේවා තිබිය යුතු දෙයක්.

    දැන් කී වතාවක් සම්මානයට පාත‍්‍ර වෙලා තියෙනවද?

    හොඳම නිළියට සිග්නීස් සම්මාන දෙවතාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම සරසවි සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. සහ නැගී එන නිළියට හිමි සම්මානයත් ලැබිලා තියෙනවා.

    දුලානි අනුරාධා කියන්නේ රංගන ශිල්පිනියකට අමතරව නර්තන ශිල්පිනියක්නෙ. මේ අංශ දෙක සමබර කරගෙන යන්නේ කොහොමද?

    නර්තන ශිල්පිනියක් කියන්නේ පාසල් නර්තන ගුරුවරියක් කියන එකනෙ. මම ඇත්තටම අවුරුද්දකට එක චිත‍්‍රපටයක් සහ එක ටෙලි නාට්‍යයක් වගේ තමයි භාර ගන්නේ. ඒකත් එක්ක ඉතිරි වෙලාව පාසලට සහ සමාජමය වැඩ කටයුතු පෞද්ගලික වැඩ කටයුතු වලට යොදා ගන්නේ. ඇත්තටම මේ දේවල් එක්ක අවුරුද්ද ඉවර වෙනවා දැනෙන්නේ නෑ.

    කලා කටයුතු එක්ක පාසලේ වැඩ වලට බාධා වෙන්නේ නැද්ද?

    මම ඒක ලොකුවට බාධාවක් කර ගන්නෙ නෑ. මොකද නිවාඩු කාල සීමාව මාස 3 ක් තියෙනවා. ඊට අමතරව මගෙ තියෙන නිවාඩු එක්ක මම වැඩ කර ගන්නවා. ලොකු බාධාවක් වෙන්නේ නෑ. මොකද නර්තනය සඳහා තව ගුරුවරු පාසලේ ඉන්නවා. මම නැති වෙලාවට ඒ අඩුව ඒ ගොල්ලො පුරවනවා. ඒ වගේම හොඳ විදුහල්පතිනියක් සහ හොඳ ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඒ හැමෝම මට ගොඩක් උදව් කරනවා. ඒ නිසා මගෙ වැඩ වලට බාධාවක් නෑ.

    ඒ ජීවිතේ සුන්දරත්වය ගැනත් කතා කරමු?

    ඇත්තටම ළමයි එක්ක වැඩ කරද්දි හරි සතුටුයි. ඒක වෙනම හැඟීමක්. මම හැම වෙලේම වගේ ළමයින් එක්ක ළඟින් ආශ‍්‍රය කරනවා. ඇත්තටම ළමයින්්ගේ හිත් හරි පිරිසිදුයි. හිතන පතන දේවල් වල කුණු නෑ. ආත්මාර්ථකාමීත්වය නෑ. වැරැුද්දක් වුණත් නොදැනුවත්කමින් වෙන්නේ. ඉතින් මට ගොඩක් එයාලගෙ ආදරේ ලැබෙනවා. මමත් හරිම ආදරෙයි. තරවටු කරන වෙලාවලූත් තියෙනවා. ඒ හැම දේ එක්කම හරි සතුටින් ඒ ජීවිතේ ගෙවෙනෙවා.

    ඒ වගේම ළමයින් එක්ක නොයෙකුත් නිර්මාණ කරනවා. ඒවගෙන් ජයග‍්‍රහණය ලැබෙනවා. ඒ හැමදේම ඉතින් හරිම සොඳුරුයි.

    දුලානි මේ දවස්වල දායක වෙලා ඉන්න නිර්මාණ ගැන කතා කළොත්?

    මේ දවස්වල නම් කිසි දේකට සම්බන්ධ වුණේ නෑ. මොකද මම භාර ගත්තේ නෑ. මගේ පාසලේ නර්තන තරග වලට ළමයි සමග සම්බන්ධවුණ නිසා.

    පුංචි තිරයෙ සබඳ එළියස් කියන ටෙලි නාට්‍යය නම් විකාශය වෙනවා.

    ඊට අමතරව තව ටෙලි නාට්‍යය දෙකක් එන්න තියෙනවා. වැඩ කරමින් පවතින ටෙලි නාට්‍යය දෙකකුත් තියෙනවා.

    ඉතින් කොහොමද ජීවිතේ ගෙවෙන්නේ?

    කාර්ය බහුලත්වයත් එක්ක මගෙ ගැන හිතන්නවත් නැති විදියට කාලය ගෙවෙන්නේ. ඒවත් එක්ක ඉතින් කොහොම හරි ජීවිතේ සමබර කරගෙන ජීවත් වෙනවා.

    මම ගැන හිතන්නවත් කාලයක් නෑ කියන්නේ එතකොට විවාහය ගැන හිතන්නවත් වෙලාවක් නැද්ද?

    නෑ නෑ විවාහයට තවත් ටිකක් කල් යයි. මොකද මේ නිදහස් ජීවිතේට මම ගොඩක් කැමතියි. විවාහය කියන්නේ තවත් බන්ධනයක්නෙ. ඒ බන්ධනය ගැන හිතනවා කියන්නේ ජීවිතේම බන්ධනයක් වෙනවා.

    ධනු විජේරත්න (saaravita)

    23 May, 2017

    චිත්‍රපටයේ වැඩ පටන් ගත්දා ඉඳන් මේ වන තුරුත් බියර් වීදුරුවක්වත් කටේ තියලා නැහැ - කමල්

    By: Aththa Withthi On: 5/23/2017 06:10:00 AM
  • Let's Get Social

  • ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු විදිහට කවුරුත් දැන හඳුනාගෙන සිටින කමල් අද්දර ආරච්චිට පසුගිය දිනවල එක්තරා විදිහක අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතයට පණ පෙවීමට සිදුවීම. අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය වෙනුවෙනුයි ඔහු එම අභියෝගය බාරගත්තේ. මේ වන විටත් සිනමා ලෝලීන් අතර විශාල අවධානයක් දිනාගෙන තිබෙන “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වූ හැටියේ එහි අත්දැකීම් “අප” සමග බෙදා හදා ගන්න කමල් අද්දර ආරච්චි අමතක කළේ නැහැ. 

    කමල්ට ආයෙමත් විවේකයක් ලැබිලා නේද?
    ඔව්. “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ රූගත කිරීම් මීට සතියකට විතර කලින් අවසන් වුණා. ඒ නිසා මේ දවස්වල ටිකක් විවේකයෙන් ඉන්නවා.

    කොච්චර කාලයක් චිත්‍රපටය වෙනුවෙන් වෙහෙසෙන්න වුණාද?
    මට මාස 1 1/2 විතර රූගත කිරීම්වලට දායක වෙන්න වුණා.

    රූගත කිරීම් අවසන් වෙලා තමන් රඟපෑ චරිතය දෙස ආපසු හැරිලා බලද්දි මොනවාද හිතෙන්නේ?
    මට හිතෙනවා මම ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළා කියලා. රෝහණ විජේවීර කියන චරිතය ගැන විශාල ගවේෂණයක් කරලයි මම චරිතයට අවතීර්ණ වුණේ. මම හිතනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා.

    එවැනි චරිතයක් රඟපෑම නළුවෙකුට අභියෝගයක්ද?
    ඇත්තෙන්ම ඔව්. මොකද මම රඟපෑවේ කවුරුත් දන්නා කියන ජීවමාන චරිතයක්. ඒ නිසා මට ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න සිදු වුණා.

    මේ චරිතය අභියෝගයක් කියලා වැඩිපුරම දැනුණ අවස්ථාවක් සිහිපත් කරන්න පුළුවන්ද?
    රෝහණ විජේවීරගෙ පෙනුම ගන්න මට බොරු දත් කුට්ටමක් පලඳින්න වුණා. ඔහු ඉතා වේගවත්ව කතා පැවැත්වූ කෙනෙක්. ඉතින් මගේ දත්වලට අමතරව තවත් දත් කුට්ටමක් කටේ තියෙද්දි එවැනි දර්ශන රඟපාන එක පහසු දෙයක් වුණේ නැහැ. ඒ අපහසුතාවලින් මිදෙන්න මට ඇතැම් විට මගේම ශිල්පක්‍රම භාවිත කරන්න සිද්ධ වුණා.

    දර්ශන තලයේදී ඔබට හොඳ ප්‍රතිචාර ලැබුණා කියලා ආරංචියි?
    ඔව්. රෝහණ විජේවීරට ගරු කරන බොහෝ අය රූගත කිරීම් බලන්න ඇවිත් හිටියා. දර්ශන තලයේදී ඔවුන් ඉදිරියේ බොහොම සංවරව තමයි මට හැසිරෙන්න සිදුවුණේ.

    ඒ සංවරකම ඔබ සැබෑ ජීවිතයටත් එකතු කරගත්තා කියන්නේ ඇත්තද?
    යම් චරිතයක් රඟපාන්න නළුවෙක් පේවෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අනෙක ඒ චරිතයට අදාළ ලක්ෂණ තමන්ගේ සැබෑ ජීවිතයටත් එකතු කරගෙන රඟපෑ යුතුයි කියන මතයේ මම නැහැ. හැබැයි මේ චරිතය රඟපාපු කාලය තුළදී නම් මට අමද්‍යප වෙන්න වුණා.

    ඒ ගැන ටිකක් විස්තර කළොත්?
    චිත්‍රපටයක් රූගත කරන කාලෙට නළු නිළියන් ඇතුළු කණ්ඩායම එකතුවෙලා වයින් එකක් බියර් එකක් බිලා සවුදිය පුරන එක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි මේ චිත්‍රපටය අතරතුරදී නම් මට එහෙම කරන්න හිතුණේ නැහැ.

    ඇයි එහෙම වුණේ?
    රෝහණ විජේවීර කියන්නේ සිගරට් හෝ මත්පැන් නොබිපු කෙනෙක්. නමුත් සැඟවී සිටින කා‍ලේ තමන් සිගරට් මත්පැන් බොන කෙනෙක් විදිහට සමාජයට පේන්නයි ඔහු ඒවා නිවසේ තියාගෙන හිටියේ. මොන හේතුවක් නිසාද මන්දා චිත්‍රපටයේ වැඩ පටන් ගත්දා ඉඳන් මේ වන තුරුත් මමත් බියර් වීදුරුවක්වත් කටේ තියලා නැහැ.

    තවත් අභියෝගයක් බාරගන්න සූදානමින්ද මේ දිනවල ඉන්නේ?
    මම කොහොමත් මට ලැබෙන ආරාධනා හොඳට තෝරා බේරාගෙන බාරගන්නා නළුවෙක්. හැබැයි මෙදා පාර නම් මට වැඩි කාලයක් විවේකයෙන් ඉන්න බැරි වේවි.

    ඒකට හේතුව?
    ජයන්ත චන්ද්‍රසිරිගේ මීළඟ සිනමා නිර්මාණයේ රූගත කිරීම් අද හෙටම පටන් ගන්නවා. චිත්‍රපටයේ නම ඝරසර්ප. මටත් එහි ප්‍රධාන චරිතයක් වෙන් වෙලා තියෙනවා.

    කිෂාන් කනංකෙ (lakbima)

    ඡායාරූප: ෆ්‍රෑන්ක් ද සොයිසා

    21 May, 2017

    රවීන්ද්‍ර ගේ මල් හත මෙන්න (Photo)

    By: Aththa Withthi On: 5/21/2017 09:27:00 AM
  • Let's Get Social

  • ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තරු රැසකගේ දායකත්වයෙන් නිර්මාණයවන අලුත්ම ටෙලිනාට්‍ය රූගත කිරීමක් ගැන මිරර් ආට්ස් වෙත දැනගන්න ලැබුණා.

    පියුමි බොතේජු, පබෝධා සංදීපනී , ශලනි තාරකා ,රිතූ ආකර්ෂා, රුක්ෂානා දිසානායක, තිසුරි යුවනිකා, ෂෙහානි කහදවල ඒ අතර සිටි සුරූපී ටෙලි තරු වේ.

    එසේම මේ සඳහා කාවිංග පෙරේරා ඇතුළු තවත් ප්‍රවීණ නළු නිළියන් රැසකගේ දායකත්වය මෙම ටෙලි නිර්මාණය සඳහා ලබා දී ඇත.

    “මල් හතයි” යනුවෙන් නම්කළ මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් රවීන්ද්‍ර විජේරත්න කටයුතු කරයි.

    එම ඡායාරූප පහතින්… 


    (මිරර් ආට්ස්)

    20 May, 2017

    සිබිල් වෙත්තසිංහ ප්‍රථම වතාවට රංගනයට

    By: Aththa Withthi On: 5/20/2017 11:02:00 AM
  • Let's Get Social
  • Sybil Wettasinghe

    හීරෝ නීරෝ සිනමාපටය නිර්මාණය කළ ප්‍රදීප් මහේෂ් ලියනගේ සිය දෙවැනි සිනමා නිර්මාණය එළඹෙන ජූනි මස 05 වැනිදා එනම් ලෝක පරිසර දිනය දා පැවැත්වෙන මුහුරත් උළෙලකින් පසුව ආරම්භ වේ.

    පරිසරයේ සුන්දරත්වය සහ වැදගත්කම කියාපාන ආදර්ශවත් සිනමාපටයක් ලෙස නිර්මාණය වන මෙය නම් කොට ඇත්තේ නිල්ල මැදින් යං යනුවෙනි. මෙම සිනමාපටය ඔස්සේ විශිෂ්ට ළමා කෘති සාහිත්‍යවේදිනියක වන සිබිල් වෙත්තසිංහ ප්‍රථම වතාවට රංගන ශිල්පිනියක ලෙසින් ඔබ හමුවීමට නියමිතය. 

    එමෙන්ම ඇය සමඟ විශිෂ්ට රංගනවේදිනියක වූ අයිරාංගනි සේරසිංහ නිල්ල මැදින් යං සිනමාපටයේ සිය රංගන දායකත්වය සපයනු ඇත. මේ දෙපොළ ඇතුළු ළමා නළු නිළියන් රැසක් සිනමාපටය රංගනයෙන් හැඩ කිරීමට නියමිතය.

    ළමුන් කණ්ඩායමක් පරිසර දිනය වෙනුවෙන් චාරිකාවකට සහභාගි වේ. ඔවුන් එහිදී මුහුණපාන සිදුවීම් කිහිපයක් ඔස්සේ පරාක්‍රම ඒකනායක විසින් නිල්ල මැදින් යං සිනමාපටහි තිර රචනය ලියා ඇත. මෙම සිනමාපටයෙහි මුහුරත් උලෙළ දින පරිසරය හි සුන්දරත්වය සහ වැදගත්කම කියාපාන ග්‍රන්ථයක් එළි දැක්විමට ද නියමිතය. (mirrorarts)

    19 May, 2017

    වසන්ත ඔබේසේකර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම

    By: Aththa Withthi On: 5/19/2017 01:28:00 PM
  • Let's Get Social

  • සත්‍ය සිදුවීම් සිංහල සිනමාවට නගා සිනමාවට වසන්තය ගෙනා, වසන්ත ඔබේසේකර වෙනුවෙන් පිදෙන වසන්ත ඔබේසේකර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම මැයි 29 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී.

    එදින,, 2.30-දඩයම.... 4.30- අසනි වර්ශා.... 6.30- සලෙලු වරම,,,,ආදී ඔහුගේ විශිෂ්ට චිත්‍රපට ත්‍රිත්වක් ප්‍රදර්ශනය කෙරේ.

    සංවිධානය සිනමා හා රූපවාහිනි සංසදය හා ප්‍රතිබිම්බ කලා සංසදය. (mirrorarts)

    18 May, 2017

    "බොලිවුඩයේ සොඳුරු මව" රීමා ලාගෝ අභාවප්‍රාර්ථ වෙයි

    By: Aththa Withthi On: 5/18/2017 05:31:00 PM
  • Let's Get Social

  • බොලිවුඩ් සුපිරි රංගන ශිල්පිණියක් වන රීමා ලාගෝ අභාවප්‍රාර්ථවී තිබෙනවා.

    මිය යන විට 59 වියෙහි පසුවූ ඇය හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් මුම්බායි රෝහලකට ඊයේ ඇතුලත් කිරීමෙන් අනතුරුව, මියගොස් ඇති බවයි බීබීසි ලෝක සේවය වාර්තා කරන්නේ.

    1970 බොලිවුඩ් සිනමාවට පිවිස් ඇය එරට ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් ලද රංගන ශිල්පිණියක්.

    පසු කළෙක ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ගේ මව ලෙස චිත්‍රපට කිහිපයකටම රංගනෙයන් දායක වුණු ඇය ප්‍රථම වතාවට එලෙස ශාරුක්ගේ මව ලෙස රඟපා ඇත්තේ මීඨ වසර 28 කට ඉහතදී ඇයට වයස අවුරුදු 31ක් වන කාළයේයි.

    ඇයගේ අභාවයත් සමඟ ඇයට ආදරය කල රැසක් මේ වන විට ශෝකය පළ කර තිබෙනවා. (ඇත්ත ගොසිප්)

    හේමාල් තුන්කොන් පෙමක පැටලෙයි

    By: Aththa Withthi On: 5/18/2017 03:33:00 PM
  • Let's Get Social


  • ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණ දේදුනු ආකාසේ ළඟදීම තිරයට එන බවක් තමයි ආරංචිය.

    මේ වෙනකොට එහි පූර්ව ප්‍රචාරක පටයත් කළ එළි බැහැලා.

    තුන් ඈඳුතු ආදරයක් තේමා කරගත් සංවේදී ආදර කතාවක් වන "දේදුනු ආකාසේ" සිනමා සිත්තම සඳහා රංඟනයෙන් හේමාල් රණසිංහ, ශනෙල් ප්‍රනාන්දු, චුලක්ෂි රණතුංග, ජයලත් මනෝරත්න, මාදනී මල්වත්ත, ශ්‍රීමාල් වෙඩිසිංහ සමග සහෙලි සදිත්මා දායක වේ.

    ස්වර්ණවාහිනී ප්‍රථම සිනමා නිෂ්පාදනය වන්නේ ද "දේදුනු ආකාසේ" සිනමා සිත්තමයි.

    දේදුනු ආකාසෙහි කැමරා අධක්ෂණය රංග එස්. බණ්ඩාරගෙනි. මේඝ කාවින්ද කොළඹගේ සමඟ ඩිරාන් විජයසිංහ සංස්කරණ ශිල්පීන්ය. චිත්‍රාල් සෝමපාලගේ සංගීත අධ්‍යක්ෂණයකි.

    ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. මංගල ප්‍රනාන්දුගේ කලා අධ්‍යක්ෂණයකි. නලීන් ප්‍රේමතිලක අංග රචනා ශිල්පියාය. අශෝක ආරියරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. උදෙනි අල්විස් නිශ්චල ඡායාරූපකරණයෙන් ද උපුල් ශාන්ත සන්නස්ගල, නන්දන වික්‍රමගේ, වජිර මහකනුමුල්ල සහ ප්‍රියන්ත කොළඹගේ ගීත රචනයෙන් ද, ජනක උල්ලදුපිටිය ඇඳුම් නිර්මාණයෙන් ද, පාලිත තෙන්නකෝන් සහ රුවින් මාලිංග රේඛිය නිෂ්පාදනයෙන් ද මෙයට දායක වේ. 




    (mirrorarts)

    'දෙවෙනි ඉනිම' ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආසාවෙන් බලන නාට්‍යයක් වෙලා

    By: Aththa Withthi On: 5/18/2017 05:25:00 AM
  • Let's Get Social


  • මේ දවස්වල කතාබහට ලක්වෙන දෙවෙනි ඉනිමේ ඔබේ අධ්‍යක්ෂණ කාරිය ගැන මුලින්ම කතා කරමු..?

    දෙරණත් එක්ක එකතු වෙලා කළ අත්හදා බැලීමක් විදියට තමයි දෙවෙනි ඉනිම නිර්මාණය වෙන්නේ. ඉන්දියානු නාට්‍ය ලංකාවට ඇවිත් අර්බුදකාරී පසුබිමක් තියෙන වෙලාවක මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් විදියේ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න අපිට ඕන වුණා. අපි කරපු "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත්තත් එයින් ලොකු පිපිරීමක් ඇති කරන්න බැරිවුණා. දෙරණේ සභාපති ලක්සිරි වික්‍රමගේ, ඒ වගේම චරිත් කොතලාවල, පිටපත ලියන සමන් එදිරිමුණි, මම සහ නිෂ්පාදන කටයුතු කරන මගේ බිරිය එකතු වෙලා කරන්න ඕන දේ සාකච්ඡා කරලා මිනිසුන්ගේ හදවත වැලඳගන්න කරපු නිර්මාණය තමයි දෙවෙනි ඉනිම කියන්නේ.

    ඒ බලාපොරොත්තු වුණු තැනට නාට්‍ය ගෙනත් තියෙනවා කියලා හිතනවද..?

    ඔව්. මේ වෙනකොට රේටින්වල දෙවෙනි ඉනිම දෙවැනි තැනට ඇවිත් තියෙනවා. ඊටත් වඩා මේ ටෙලි නාට්‍ය ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා. කිසිම ටෙලි නාට්‍යයකට මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැතිව ඇති. ගොඩක් අය ඇබ්බැහි වෙලා මේ ටෙලි නාට්‍ය බලන්න. සිංහල ටෙලි නාට්‍ය නොබලපු නවීන සමාජයේ ළමයිනුත් දැන් මේ ටෙලි නාට්‍ය බලනවා. අපි ඔවුන්ගේ ජීවිතය තමයි ටෙලි නාට්‍යයට දාලා තියෙන්නේ. ඒ වගේම සමාජයේ විද්වත් පිරිසත් මේ නාට්‍ය නරඹනවා.

    සමාජ මාධ්‍යවලිනුත් දෙවෙනි ඉනිමට ලොකු ප්‍රචාරයක් ලැබෙන්න අරගෙන. ඒ ගැන සතුටු ඇති..?

    ඇත්තටම ටෙලි නාට්‍ය දෙබස්, නාට්‍යයේ නළු නිළියන්ගේ තොරතුරු ගැන පවා සමාජ මාධ්‍යවලින් කතා කරන්න අරගෙන. ඔවුන් ඒ විදියට එය වෙනම රස විඳිනවා. ඒක හොඳ දෙයක්. සිංහල ටෙලි නාට්‍ය කලාව නැතිවෙලා යන යුගයක මේ වගේ නිර්මාණයක් කරන්න ඉඩ සැලසුවාට දෙරණේ සභාපතිතුමා ඇතුළු පිරිසට මම ස්තූති කරනවා. ඒ වගේම දෙවෙනි ඉනිම, ප්‍රේක්ෂකයන් මේ විදියට පිළිගත්ත එක ගැනත් සතුටුයි.

    විදේශ ටෙලි නාට්‍ය පරදලා ප්‍රේක්ෂකයන් ඇද බැඳ ගන්න ටෙලි නිර්මාණයක් කරන එක ලේසි නැහැ. ඒ නිසා නිර්මාණකරණය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්නත් ඇති..?

    ඇත්තටම අපේ ටාගට් එක වුණේ ප්‍රේක්ෂකයන් වැලඳ ගන්න ටෙලි නාට්‍යයක් කරන්න. තාක්ෂණික පැත්තේ ඉඳන් හැම දෙයක් ගැනම අපි සැලකිලිමත් වුණා. ඒ වෙනුවෙන්ම සෙට්ස් හදලා ෆිල්ම් ලයිට් පාවිච්චි කරලා ගොඩාක් දේවල් හිතලා මේ නාට්‍ය කරන්නේ. අපි නිවැරැදිම ක්‍රමයට තමයි ටෙලි නාට්‍ය නිර්මාණය කරන්නේ.

    රංගනයේ පරිණත පුද්ගලයන් වගේම නවකයන්ගෙනුත් නිර්මාණයට සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් කියන විශ්වාසය තිබ්බද..?

    ධර්මප්‍රිය, පාලිත, බිමල්, හිමාලි වගේම කේෂාන්, රවීන්, නයනතාරා, ශනුද්‍රි වගේ පරම්පරා දෙකක් නියෝජනය වන ශිල්පීන් මේ නාට්‍යයට සම්බන්ධ කරගෙන තියෙනවා. අපිට ඕන වුණේ නැහැ නිතරම ටෙලි නාට්‍යවල දකින නළු නිළියන්වම පාවිච්චි කරන්න. මම අලුත් ශිල්පීන්ගෙ හැකියාවත් දැනගෙන හිටියා. ඔවුන්ගේ හැකියාව මම සියුම් විදියට පාවිච්චි කළා. ඒ අයගේම තාරුණයයේ ජීවිතය තමයි කතාව ඇතුළේ තියෙන්නේ. රංගන ශිල්පීන්ව, ශිල්පිනියන්ව ඒ ඒ චරිතවලට බස්සලා රඟපාන්න මම නිදහස දුන්නා. මෙතැනදි සමන්ගේ රචනයත් ඉතා වැදගත්. ඔහු හොඳ රචකයෙක්. ඔහු ඇත්තටම අපේ ජීවිතය ලියන්නේ. ටෙලි නාට්‍ය සාර්ථකත්වය පිටුපස්සේ මේ කාරණා සියල්ල තියෙනවා.

    ටෙලි නාට්‍ය මේ තරම් ජනප්‍රිය වෙද්දී අන්තිම අපේක්ෂාව සම්මානයක්ද...?

    එහෙම සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙන නැහැ. ඉන්දියාව වගේ රටක අපි ඉපදුණා නම් අපිට ඒ ගැන හිතන්න තිබ්බා. නමුත් ලංකාවේ සම්මාන ලැබෙන්නේ දුවන්නේ නැති, මිනිස්සු බලන්නේ නැති නිර්මාණවලට. සම්මාන නැතත් මේ වගේ හොඳ නිර්මාණ කරලා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන තවත් හොඳ නිර්මාණ කරලා ක්ෂේත්‍රයේ දියුණුවක් ඇතිවීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

    විදේශ ටෙලි නාට්‍යවලින් ප්‍රේක්ෂකයෝ මුදවලා සිංහල ටෙලි නාට්‍ය නරඹන තැනට පෙලඹවීමක් ඇති කරපු දෙවෙනි ඉනිමේ උත්සාහය තවදුරටත් සාර්ථක වෙයි කියලා හිතනවාද..?

    මම මගේ ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයෙනුත් වෙනසක් කළා. දෙවෙනි ඉනිමෙන් අපි විද්වත් සහ අලුත් ප්‍රේක්ෂක පිරිසක් නාට්‍ය බලන්න එකතු කරගත්තා. සමහරු සිංහල නාට්‍යවලට හිනාවුණු කාලයක් තිබුණා. අපි හොඳ හැරවුම් ලක්ෂ්‍යයක් තියෙන නිර්මාණයක් කළා. තරුණ අධ්‍යක්ෂවරු මේ වගේ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න තව හැරවුම් ලක්ෂ්‍යයන් නිර්මාණය කරන්න ඕන. අපි හැමෝම පොදු අරමුණකට ගියොත් අපිට සිංහල නාට්‍ය කලාව රැකගන්න බැරි නැහැ.

    සාරංග ටෙලි නාට්‍ය ඇතුළේ හොයන්නේ කලාවද සල්ලිද..?

    ටෙලි නාට්‍ය ඇතුළේ කලාව පෙන්නලා තමයි සල්ලි හොයන්න ඕන. ටෙලි නාට්‍ය කලාව ඇතුළේ මුලින්ම ලෝකයේ හොඳම දේ කරන්න ගිහින් වැඩක් නෑ. මුලින්ම මිනිසුන්ව ආකර්ෂණය කරගන්න ඕන. ඒ නිර්මාණවලින් සල්ලි හොයලා කඩුල්ල වගේ හොඳ නිර්මාණ ඊට පස්සේ කරන්න පුළුවන්. සමහරු හිතන්නේ ගැඹුරු දෙයින් තමයි මිනිස්සු ප්‍රඥාවට ගෙනියන්න පුළුවන් කියලා. නමුත් සරල දෙයින් වුණත් එය කරන්න පුළුවන්.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ  (MB WEB)

    16 May, 2017

    නිම්නය හුදෙකලා නොකිරීම

    By: Aththa Withthi On: 5/16/2017 05:25:00 AM
  • Let's Get Social


  • "නිම්නයක හුදෙකලාව" අන්තිම හරිය වෙනකොට "Donnie Darko" චිත්‍රපටිය මගේ ඔලුවේ හොල්මං කරන්න පටන් ගත්තා. චිත්‍රපටිය ඉවර වුන ගමන්ම එහා පැත්තේ ඉඳගෙන හිටපු ඩිංගා මගේ පැත්තට හැරිලා"ඒ... මේක Donnie Darko වෙගේ නේ බං...." කියලා ඇහුවම මට තේරුනා මට විතරක්ම නෙවෙයි පිස්සු කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේක Donnie Darko එකේ කොපියක් කියලා.

    "නිම්නයක හුදෙකලාව" වගේ චිත්‍රපටියක් ගැන ලියනවා කියන්නේ අමාරු වැඩක්. මොකද ඒක හරියටම පැහැදිලි කරන්න දරන උත්සාහය චි‍ත්‍රපටිය බලන්න බැරිවුන නමුත් බලන්න හිතාගෙන ඉන්න අයගේ සිනමා අත්දැකීම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුලුවන්. ඒක නිසා මෙතනදි මට සිද්ධ වෙනවා එහෙම නොවන සීමාව ඇතුලේ ඉදන් විතරක් ලියන්න.

    චිත්‍රපටිය කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ පෙන්නලා ඉවර වෙලා ඇති වුන සංවාදයේ දී බූඩි ඇතුලු චිත්‍රපටියට සම්බන්ධ කිහිප දෙනා ඒකේ සිනමා ආකෘතිය උත්කර්ශයට නංවන්න උත්සාහ කලත් මට ඒකෙ මූලික ආඛ්‍යාන ආකෘතිය ඇතුලේ අමුතු මැජික් එකක් තිබුනේ නෑ. මොකද මේ වගේම ආකෘතියක් මීට කලින් කිහිප වතාවකදීම ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කරපු චිත්‍රපටි තිබුනා. Donnie Darko කියන්නේ ඒකට තවත් එක් උදාහරණයක් උනත් The Usual suspects, Inception, Shutter Island, Butterfly effect වැනි ජනප්‍රිය චිත්‍රපටි වගේම Timecrimes, Open Your Eyes, Eraserhead, Fight Club, Synecdoche, New York, The Machinist, Memento, Eternal Sunshine of the Spotless Mind වගේ වි‍ත්‍රපට වලත් මීට සමාන ආඛ්‍යාන ආකෘතීන් හමු වෙනවා. 

    අපි සාමාන්‍යයෙන් චිත්‍රපටි වල දකින ඇරිටෝටලියානු සුසාධිත රේඛීය ආඛ්‍යානයන් අතික්‍රමනය කරන්න සිනමාකරුවන් ගත්ත උත්සාහයන් වල ප්‍රතිඵලයක් විදිහට මේ වර්ගයේ විභේදිත අඛ්‍යාන (disrupted narrative) නිර්මාණය වෙනවා. මේ තත්වය ඇතිවෙන්න ලෝක සාහිත්‍යයේ සිදු වුනු ආකෘතික වෙනස්කම් බොහෝ දුරට බලපානවා. ඒ නිසා ලංකාවේ සිනමාවට "නිම්නයක හුදෙකලාව" කියන්නේ රැඩිකල් ආකෘතික වෙනසක් වුනත් ලෝක සිනමාවට සාපේක්ෂව ඒක එහෙම නෑ.

    මම දැක්කා කිහිප දෙනෙක්ම "නිම්නයක හුදෙකලාව" කියන්නේ විකාර රූපී චිත්‍රපටියක්, ඒකේ තියෙන්නේ ව්‍යාකූලත්වයක් වගේ දේවල් ගැන කියවනවා. මට අනුව කලිං කියපු ආඛ්‍යාන ආකෘතිය විසින් කරන්නේ වියමනක ගැඹුර සොයා යෑමට මානසික විභවාන්තරයක් (කේ. කේ. සමන් කුමාරගෙන් උපුටා ගත් වචනයක්) ඇති කරන එක. ඒක සංවෘත ආකෘතියක් නෙවෙයි. 

    ඒ විවෘත භාවය සෑම විටම හිස් තැනක් ඉතුරු කරලා යනවා. මේ හිස් තැන් පුරවලා ප්‍රෙහේලිකාව සම්පූර්ණ කරගන්න එක තමයි ප්‍රේක්ශක අත්දැකීම හැටියට චිත්‍රපටිය අවසානයේ ඉතුරු වෙන්නේ. මං වගේ චිත්‍රපටි වලින් අභියෝගයට ලක් වීමේ දැඩි ආශක්තතාවයකින් පෙලෙන උන්ට නම් ඒක මරු වැඩක්. ඒත් ලංකාව වගේ ලාබ සිනමා කර්මාන්තයක් තියෙන රටක ප්‍රේක්ශකයන්ට ඒක නුපුහුණු අත්දැකීමක් වෙන්න පුලුවන්.

    සිනමාවේ ආකෘතික හරඹ බොහෝ විට ෆේල් වෙන්නේ ඊට ආධාරක වන සන්දර්භයක් චිත්‍රපටය ඇතුලේ ගොඩනගන්න අපොහොසත් වීම නිසයි. එතකොට ඒක නිකංම නිකං හිස් ආකෘතියක් පමනක් බවට පත්වෙනවා. නමුත් "නිම්නයක හුදෙකලාව" ඇතුලේ නිර්මාණය වෙන කාලය ගල් ගැසුනු අවකාශයක චක්‍රීය ලෙස එකිනෙකා හරහා ගමන් කරන චරිත සහ මේ සියල්ල සැබෑවක් ද? නැත්නම් සිහිනයක් ද? ඒත් නැත්නම් වෙනත් සිහිනයක් මත ගොඩනැගුණු තවත් අනු සිහිනයන් ද? වගේ ප්‍රෙහේලිකා විසින් චිත්‍රපටියේ ආකෘතියට සංකල්පික පදනමක් ලබා දෙනවා. චිත්‍රපටයට පදනම් වන මිනිහෙක් මැරෙන මොහොතේ ඇතිවෙන මානසික චිත්‍රය එහෙමත් නැත්නම් බුද්ධාගමේ කියන විදිහට චුති චිත්තය මොන වගේ එකක් විය හැකි ද? ඒක මොනවගේ එකක් වුනත් රේඛීය ආඛ්‍යානයකට හසු කර ගත හැකි තරම් සරළ විය නොහැකියි.

    මේ සියල්ල අතරේ "නිම්නයක හුදෙකලාව" කාලය නතර වූ අවකාශයක් ඇතුලේ හැඟවුම්කාරක (signifiers) රාශියක් ප්‍රේක්ශකයා වෙත මුදා හරිනවා. අනන්‍යතා අර්බුදය, දෙමලා පිළිබද සිංහල සමාජ දෘෂ්ටිය, ඇඩ්වර්ටයිසිං, බුද්ධාගමේ කර්මය පිළිබද අදහස, පංති සංක්‍රමනය වීමේ අභිලාෂය, මධ්‍යම පාංතික සිහිනය වගේ හැඟවුම්කාරක ගොඩක් සිනමා තිරයක් උඩ අත ඇරලා දානවා. 

    හැබැයි ඒ එකක් ගැනවත් නිශ්චිත අදහසක් හෝ මතයක් කියන්නේ නෑ. ඒවා ඕනාවට වඩා විස්තර කරන්න උත්සාහ කරන්නෙත් නෑ. ධාරණාවේ ඒකීයත්වය වගේ යල් පැනපු සංකල්ප ඔලුවෙ තියාගෙන ඉන්න පැරණි සිනමා රසිකයන්ව මේකෙන් අර්භූදයට ලක් කරනවා. ඒ වෙනුවට 'කතුවරයා මිය ගොස් ඇත' (death of the author) වගේ පශ්චාත් නූතනවාදී සංකල්ප යෝජනා කරනවා.

    නමුත් මෙතනදි ත්‍රිමාන සහ චතුර්මාන ලෝකයන් ගැන "නිම්නයක හුදෙකලාව" ඇතුලේ ‍ඉදිරිපත් කරන අදහස ටිකක් ගැටලුකාරීයි. දිග, පළල, උස කියන අපි ජීවත් වෙන ත්‍රිමාන ලෝකයෙන් එහා තියෙන චතුර්මානී ලෝකයක සිව් වන මානය විදිහට චිත්‍රපටිය හදුන්වන්නේ කාලය. මේ චතුර්මාන ලෝකය චිත්‍රපටියේ නිරූපනය වෙන්නේ කාලය නතර වුන අවකාශයක් හැටියට. අපි ජීවත් වෙන්නේ ත්‍රිමාන ලෝකයක උනත් අපිට මේ ලෝකේ දේවල් පේන්නේ ද්විමානව. 

    උදාහරණයක් හැටියට ඔබ ඉස්සරහා තියෙන ත්‍රිමාන ටෙනිස් බෝලයක් ඔබට පේන්නේ වෘත්තාකාර ද්විමාන වස්තුවක් විදිහට. ආලෝකයේ අසමනතාව සහ පර්යාවලෝකය විසින් තමයි ඔබට ඒක ත්‍රිමාන වස්තුවක් කියන අවබෝධය ලබා දෙන්නේ. චිත්‍ර ශිල්පියෙකුට පැතලි කඩදාසියක් මත ත්‍රිමාන ලෙස පෙනී යා හැකි රූපයක් අදින්න පුලුවන් වෙන්නේ ඒ නිසා. ඒ අනුව අපි ජීවත් වෙන ත්‍රිමාන ලෝකයේ ද්විමාන ප්‍රතිරූපයක් පමනයි අපිට පේන්නේ. 

    මෙතනදි අමතක නොකල යුතු තවත් වැදගත් දෙයක් තමයි අපි යමක් දකින්නේ වස්තුවක් මතට වැටෙන ආලෝක කිරණ අපේ දෘෂ්ටි විතානය මතට පරාවර්තනය වීමෙන් කියන එක. එතනදි ආලෝකය ගමන් කිරීමට ගත වන කාලය සහ අදාල වස්තුව තිබෙන දුර අනුව අපිට ඒ වස්තුව පේන්න ප්‍රමාදයක් ඇති කරනවා. මේක තේරුම් ගන්න ලේසියි අපට වඩා හුගක් දුරින් තියෙන වස්තුවකට සාපේක්ෂව ගත්තම. උදාහරණයක් හැටියට ප්‍රොක්සිමා සෙන්චූරි කියන තරුව තියෙන්නේ පෘතුවියට ආලෝක වර්ෂ මිලියන 1.43ක් ඈතින්. 

    එතකොට අපිට දැන් පේන්නේ මීට අවුරුදු මිලියන 1.43කට කලින් තිබ්බ තරුව. වෙනත් විදිහකින් කියනවා නම් ප්‍රොක්සිමා සෙන්චූරි විනාශ වෙලා අවුරුදු මිලියන 1.43ක් යන කල්ම අපිට ඒක තිබුන විදිහටම පේනවා. ඒ අර කලින් කියපු ආලෝකය ඇස වෙත ළගා වීමට ගත වන කාලය නිසා. එතකොට "නිම්නයක හුදෙකලාව" එකේ පෙන්නන චතුර්මානී ලෝකය කියන්නේ කාලය නතර වුන අවකාශයක් නම් අපිටවත් ඒක ඇතුලට යන චරිත වලට වත් ඒකෙ තියෙන කිසිම දෙයක් පේන්න නියමිත නෑ.

    භෞතික විද්‍යාවට අනුව සිව් වන මානය විදිහට හදුන්වන්නේ කාලය නෙවෙයි, අවකාශය කාලය (space time) කියන එක. ඒක කාලයේ සහ අවකාශයේ එකතුවක්. එතනදි කාලය අහෝසි වෙලා යන්නෙවත් නතර වෙන්නෙවත් නෑ. කාලානුරූපී වෙනස් වීම භෞතික ප්‍රපංචයක් බවට පත්වෙනවා. මුලින් කිව්ව විදිහට අපි ජීවත් වෙන ත්‍රිමාන ලෝකය අපිට පේන්නේ ද්විමාන රූප වල එකතුවක් විදිහට නම් මේ කියන චතුර්මාන ලෝකයේ දී අපට සියල්ල පරිපූර්ණ ත්‍රිමාන වස්තු විදිහට පේන්න ඕනේ. ඒක අපිට උපකල්පනය කල නොහැකි තත්වයක්. 

    නමුත් මම මේ කියපු කිසි දෙයක් චිත්‍රපටියට අදාල වෙන්නේ නෑ. මොකද මේ සියල්ල විශ්ව (චිත්‍රපටියේ ප්‍රධාන චරිතය)ගේ ෆැන්ටසියක් නිසා. එයාගේ ෆැන්ටසිය නිර්මාණය වෙන්නේ physics වලට අනුව නෙවෙයි, එයාගේ අවිඥානයට අනුව. ඒ කොහොම වෙතත් මට කියන්න ඕනෙ වුනේ විශ්වගේ අවිඥානයට නිර්මාණය වෙන්න බලපාන ඔහු ළග තියෙන පොත ආතර් සී. ක්ලාක් ගේ එකක් නොවී අයින්ස්ටයින්ගේ හරි ස්ටීවන් හෝකින්ස්ගේ එකක් හරි වුනා නම් ක්‍රිස්ටෝෆර් නෝලන් Interstellar චිත්‍රපටියේ wormhole එකක් දෘශ්‍යකරණය (visualize) කලා වගේ බූඩිට උපකල්පනය කල නොහැකි චතුර්මාන ලෝකයක් පරිකල්පනය කල හැකිව තිබුනා.

    සමස්තයක් විදිහට චිත්‍රපටියේ දෘෂ්‍ය ප්‍රයෝග (visual effects) ලංකාවට සාපේක්ෂව ඉතාම විශිෂ්ට මට්ටමක තිබුනා. Rendering farm තියා licensed software වත් නැති ලංකාවේ ඒවගේ දේවල් ටික කලකට කලින් කරන්න උත්සාහ කරලා හොදටම නාගත්ත එකෙක් විදිහට ඒකෙ අමාරුකම මට හොදට තේරෙනවා. නලු නිලියන්ගේ රංගන සීමාවන් ඇතුලේ සීමා නොවී ඒ සීමාවන් අතික්‍රමනය කරන්න සිනමා භාෂාව යොදා ගන්න බූඩි "නිම්නයක හුදෙකලාව" ඇතුලේ සාර්තක උත්සාහයක් දරලා තිබුනත් සෞම්‍ය, සංගීතා, තිස්ස අබේසේකර, ලක්ශ්මන් මෙන්ඩිස් අතරේ විමුක්තිගේ රගපෑම ඉතාම ඕලාරිකයි. ඇත්තටම ඒක "සුළඟ එනු පිණිස" කරපු විමුක්ති "මාතා" එකේ රඟපෑවටත් වඩා ජුගුප්සා ජනකයි.

    අවසාන වශයෙන් බූඩි "නිම්නයක හුදෙකලාව" මහජන ප්‍රදර්ශනයට යොමු කරනවා නම් ඒක ලංකාවේ සිනමා ප්‍රේක්ශකාගාරය පිළිබද හොඳ අත්‍හදා බැලීමක් වෙයි. මං කැමතියි මේක ලංකාවේ සිනමාවේ තවත් එක් හැරවුම් ලක්ශයක් විදිහට භාර ගන්න. අලුතෙන් චිත්‍රපටි කරන්න ඉන්න එවුන් තමන්ට චිත්‍රපටි කරන්න බැරි වීම ගැන පැරණි හේතු ඉදිරිපත් කර කර ඉන්නේ නැතුව අලුත් වැඩ කරන්න මේක හොද පෙලඹවීමක් වෙයි. එතනදි බූඩිගේ තාත්තට තරම් අපේ තාත්තට සල්ලි නෑ වගේ ගොං කතා කියන්න නං ලෑස්ති වෙන්න එපා.

    - කසුන් චන්ද්‍රනාත් පතිරණ -
    අලුත් පරපුර

    09 May, 2017

    Baywatch නිසා හොලිවුඩයේ ඉල්ලුම වැඩි වූ නිළිය

    By: Aththa Withthi On: 5/09/2017 06:10:00 AM
  • Let's Get Social


  • මේ දිනවල හොලිවුඩයේ වැඩිම මාතෘකාව බවට පත් වී ඇත්තේ, Baywatch චිත්‍රපටයයි. බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා පිළිබඳ මෙහිදී අවධානය යොමු වී ඇති අතර, තවත් අවධානය යොමු වී ඇති කෙනෙක් වෙයි. ඒ මෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වන Alexandra Daddario පිළිබඳවයි.

    Baywatch චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෙන්නේ සෙත් ගෝර්ඩන්ය. මෙහි නිෂ්පාදකවරු ලෙස තිදෙනෙක් කටයුතු කරති. ඒ ඉවාන් රෙයිට්බන්, ටොම් පොලැක්, බියූ ෆ්ලයින් නම් නිෂ්පාදකවරුය. මෙහි ප්‍රධාන චරිත සඳහා ඩ්වේන් ජොන්සන්, සැක් එෆ්රොන්, ඇලෙක්සැන්ඩ්‍රා, ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වෙති.

    මැය මීට පෙර රංගනයෙන් දායක වූ චිත්‍රපටය බොහෝ සෙයින් ප්‍රසිද්ධ විය. ඒ අතර 'Percy Jackson' චිත්‍රපට මාලාවද, 'San Andreas' වැනි චිත්‍රපටද ඇයගේ හැරවුම් ලක්ෂ්‍යයන් ලෙස සඳහන් වෙයි.

    31 වැනි වියේ පසුවන ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ 2005 වර්ෂයේදීය. නමුත් ඇය 2002 වර්ෂයේ සිට රූපවාහිනී කතා මාලාවන්වල අතුරු චරිත සඳහා රංගනයෙන් දායක වී තිබේ. 2002 වර්ෂයේ සිට 2003 වර්ෂය දක්වා 'All My Children' රූපවාහිනී කතා මාලාව සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඉන්පසු 2004 වර්ෂයේදී 'Law & Order' කතා මාලාවටද, 2005 වර්ෂයේදී 'Law & Order: Criminal Intent' කතාමාලාවටද දායක වී ඇති බව සඳහන් වෙයි.

    2005 වර්ෂයේදී ඇයට සිනමා දිවියට ප්‍රවිෂ්ට වීමට අවස්ථාව උදා වී ඇත්තේ 'The Squid and the Whale' චිත්‍රපටය ඔස්සේය. සිනමා නිළියක මෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසද ඇය බොහෝ ප්‍රසිද්ධියට ලක්ව සිටියි. ඇය 2006 වර්ෂයේදී නාට්‍ය ආභාසය ලත් චිත්‍රපටයක් ලෙස 'The Hottest State' චිත්‍රපටය හඳුන්වනු ලබයි.

    සංගීත පසුබිමක් ඔස්සේ නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය සම්මානලාභී චිත්‍රපටයක් විය. ඇය 2007 වර්ෂයේදී තවත් චිත්‍රපට දෙකක් සඳහා දායක වූ අතර, 2008 වර්ෂයේදී සිනමාව සඳහා මඳ විරාමයක් ලබාදුන්නේය. සිනමා දිවියට පමණක් නොව රූපවාහිනී කතාමාලා සඳහාද ඇය සමු දී තිබිණි.

    2009 වර්ෂයේදී ඇයව නැවතත් දැකගැනීමට හැකියාව ලැබෙන්නේ Jonas Brothers: The 3D Concert Experience චිත්‍රපටය ඔස්සේය. එය මිලියන 23ක ආදායමක් ලැබූ චිත්‍රපටයකි. 2010 වර්ෂයේදී තිරගත වූ Percy Jackson & the Olympians: The Lightning Thief චිත්‍රපටය ආදායම් අතින් මෙන්ම ඇයගේ ජීවිතයේද හැරවුම් ලක්ෂ්‍යය සටහන් කළ චිත්‍රපටයක් විය. 2010, 2011, 2013 යන වර්ෂයන්හිදීද එක් චිත්‍රපටය බැගින් තිරගත වුණි.

    2015 වර්ෂයේදී තිරගත වූ 'San Andreas' චිත්‍රපටය ලෝකයේ බොහෝ අවධානය දිනාගත් චිත්‍රපටයක් විය. පසුගිය වර්ෂයේ එනම් 2016 වර්ෂයේදී තිරගත වූ 'The Choice' චිත්‍රපටය ඔස්සේ ඇය සම්මානයක් සඳහා නිර්දේශ විය. නමුත් එම සම්මානය හිමි කරගැනීමට ඇයට අවස්ථාව උදා නොවීය. මෙම වර්ෂයේදී ඇයගේ චිත්‍රපට 04ක් තිරගත වීමට නියමිතව තිබේ. 2018 වර්ෂයේදීත් ඇයගේ එක් චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

    ඇය පිළිබඳ මේ දිනවල වැඩිම අවධානය යොමුව ඇත්තේ 'Baywatch' චිත්‍රපටය හේතුවෙනි. මෙහි බොහෝ දර්ශනයන්හි ඇය අඩනිරුවතින් සිටින බවත් ඇතැම් විදෙස් වෙබ් අඩවි සඳහන් කරයි. ඇය වටා නිර්මාණය වන එවැනි පුවත් හේතුවෙන් ඇයගේ සමාජ වෙබ් අඩවි ගිණුම් සඳහා විවිධ වූ පණිවුඩ ලැබෙමින් පවතින බවද ඇය සඳහන් කර තිබේ. කෙසේ වුවත් මෙම කාරණා හේතුවෙන් ඇය ජනප්‍රිය තරුවක් වී ඇත්තේ චිත්‍රපටය එළිදැක්වීමටත් පෙරය. (mirrorarts)