21 February, 2017

Tagged Under:

සුදුසු කෙනෙක් ලැබුණොත් බඳිනවා - රන්ජන්

By: Aththa Withthi On: 2/21/2017 08:12:00 AM
  • Let's Get Social

  • අද වන විට අප රටේ ප්‍රබලතම දේශපාලන භූමිකාවක් ද හොබවන ජනකාන්ත නළු රන්ජන් රාමනායක මනාලයකු වශයෙන් හැඩ ගැන්වී සිටින ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබුණි. ඒ ඡායාරූපවල රන්ජන්ගේ මනාලිය ලෙස පෙනී සිටියේ නව පරපුරේ දක්ෂ ජනප්‍රිය නිළියක් වන අනුෂා දමයන්තියි.

    එනිසා අන්තර් ජාලයට මුදාහැරුණු රන්ජන් - අනූෂා විවාහ මංගල්‍යයේ ඡායාරූප පිළිබඳව ලක්බිම ඔන්ලයින් රන්ජන් වෙත මේ ප්‍රශ්න කිහිපය යොමු කළා.

    ඇමතිතුමා පසුගිය දා ඔබගේ විවාහ මංගල්‍යය සිද්ද වුණා නේද?

    ඒක මංගල්‍යයක් මිසක් විවාහයක් නෙවෙයි.

    ඒ කියන්නේ?

    මංගල උත්සව පිළිබඳ රූපවාහිනී වැඩ සටහනක් සඳහා මම මනාලයාගේ චරිතය නිරූපණය කළා.

    ඒ උනාට ඔබ තුමා දැන් විවාහ විය යුතු වයස පසුකරලා නේද ඉන්නේ?

    රස්සාවකට බැ‍‍ඳෙන්න නම් නිශ්චිත වයස් සීමාවක් තියනවා. ඒත් විවාහ විය යුතු නිශ්චිත වයස් සීමාවක් ගැන මම දන්නේ නැහැ. අනික ඒක මට ලැබුණු ආරාධනයක් පිළිගැනීමක් විතරයි; කලාකාරයෙක් හැටියට ඒක ප්‍රතික්ෂේප කරන්න පැහැදිලි හේතුවක් මට තිබුණේ නැහැ.

    ඇත්තෙන්ම ඒ නිරූපණය අනුව ඔබ තවමත් මනමාලයෙකුට හොඳටම ගැලපෙන බව අපටත් ඒත්තු ගියා; ඒත් ඇයි ඔබ සැබෑ ජීවිතයේ දී කිසිදා විවාහයක් කර නොගැනීමට දැඩිව තීරණය කළේ?

    මම එහෙම දැඩි තීරණයකට එළඹිලා නැහැ. පහුගිය ටිකේම සිද්දවුණේ මට තියන වැඩ කටයුතුත් එක්ක විවාහයක් ගැන හිතන්න තරම් කාලයක් ඉතුරු නොවීම; ඉතින් ඒක දවසින් දවසම කල්ගියා. එච්චරයි.

    ඒ කියන්නේ ඔබ ඉදිරියේ දී වුණත් විවාහ වෙන්න පුලුවන්.

    ඔව් ඉතින් ඉදිරියේ දී විවාහ වෙන්නේ නැහැම කියන්න බැහැ තමයි.

    එහෙනම් දැනටමත් ඔබ ගේ හදවතේ සිහින මනාලියක් රජ කරනවා ඇති.

    මම සිහින ලෝකවලට වඩා ප්‍රකෘති ලෝකයේ ජීවත් වෙන්න කැමතියි; අනික මම මේ ගත කරන වයස ‘ප්‍රඥා දශකය’ කියලත් පරණ සංස්කෘත පොත්වල තියනවා; ප්‍රඥා දශකයේ බොළඳ වෙන්න බැහැනේ.

    ඒ කියන්නේ දැන් ඔබට විවාහ යෝජනාවක් ඉදිරිපත් වෙලා තියනවද?

    එකක් නෙවෙයි වරින් වර කීපයක්ම ඉදිරිපත් වෙලා තියනවා; ඒත් මම තවමත් ඒවා ගැන අවසන් නිගමනයකට එළඹිලා නැහැ.

    එතකොට කවදද ඔබ ඔය කියන අවසන් නිගමනයට එන්නේ?

    අසවල් දවසේ කියලා එහෙම නිශ්චයකට එළැඹෙන්න බැහැ. ඒවා නියමිත පරිදි සිදුවේවි.

    එහෙනම් දැන් මට තනි වචනයකින් උත්තර දෙන්න; මම අහන්නේ සුදුසු සහකාරියක් ලැබුණොත් ඔබ ඉදිරියේ දී විවාහ වෙනව ද කියලයි.

    ඔව්!

    _ලක්බිම-තිලක් සේනාසිංහ
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment